Monday, December 24, 2007

ජීවිතය?

ජීවිතය ගැන කියවෙන ලස්සන සෙන් කවියක් හමුවුනා...

Yo no naka wa
nani ni tatoen
yamabiko no
kotauru koe no
munashiki ga goto

[by Monk Ryokan (1758-1831)]

මේ මිහිමත අපේ ජීවිතය
මා කුමක් සමඟ සසඳම්ද?
එය දෝකාරයක් වැනිය
කඳු අතර රැව්පිලිරැව් දී
හිස් අහස් ගැබ වෙත නික්ම යන

මඩ‍ගොහොරු පාර

ටැන්-සන් සහ අයි-කී-ඩෝ යන සෙන් හිමිවරුන් දෙදෙනා වැසි සහිත දිනයක මඩ ගොහොරු සහිත පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියා.

අලංකාර සිල්ක් කිමෝනාවක් හැඳගත් ඉතා රූමත් තරුණියක් වංගුවක පාර වෙන්වන සේ සෑදුනු මඩ වලක් අසල එයින් එතෙර වීමට නොහැකිව ලතවෙමින් සිටිනු දුටු ටැන්-සන්, ''එන්න" කියා මඩ වගුරෙන් එතෙරට තරුණියව ඔසවාගෙන ගොස් තබා සුපුරුදු ගමන යලි ඇරඹුවා.

මේ සිද්ධිය දැක තුෂ්නිම්භූත වූ අයි-කී-ඩෝ රාත්‍රී නවාතැන්පලක් වෙත පැමිණෙන තෙක්ම ටැන්-සන් සමඟ කිසිවක් කතා කලේ නැහැ.
ඉවසාගත නොහැකි තැන අයි-කී-ඩෝ තරහින්, "අපි හාමුදුරුවරු! කාන්තාවන් අසලට කිට්ටු වෙන්නවත් හොඳ නෑ..., විශේෂයෙන්ම රූමත් තරුණ අය ලඟට, ඒක බොහොම භයානක වැඩක්! ඇයි ඔබ ඒ වගේ නොහොබිනා වැඩක් කලේ?" යැයි ටැන්-සන්ගෙන් විමසුවා.

"මම ඇයව එතන තියලයි ආවේ... ඔබ තවමත් ඇයව ඔසවාගෙනද සිටින්නේ?" යැයි පැවසුවා.

Monday, November 19, 2007

සෙන් කතා: තේ කෝප්පය

මෙයිජී යුගයේ (1868-1912) ජීවත් වූ ප්‍රකට ජපන් සෙන් ඇදුරෙකු වූ නැන්-ඉන් හමුවී සෙන් දහම ගැන විමසීමට දිනක් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු පැමිණියා.

චාරිත්‍රානුකූලව අමුත්තාට තේ පැන් පිළිගැන්වීමට නැන්-ඉන් නිහඬව සූදානම් වෙද්දී මහාචාර්යවරයා සෙන් ගැන කතා කරන්නට පටන් ගත්තා. අමුත්තාගේ කෝප්පයට තේ වත්කල නැන්-ඉන් කෝප්පයේ ගැට්ටටම තේ පිරුණු පසුත් දිගටම තේපැන් වත්කලා.

තේ පැන් වලින් පිරී ඉතිරී යන කෝප්පය දෙස නොඉවසිලිමත්ව බලා සිටි මහාචාර්යවරයා බැරිමතැන "ඇදුරුතුමනි, කෝප්පය පිරී ඉතිරී යනවා. තවත් තේ වත්කලාට කෝප්පය ඇතුලට යන්නේ නැහැ" යැයි පැවසුවා.

නැන්-ඉන්, "මහාචාර්යතුමනි, මේ කෝප්පය වගේ ඔබේ හිසත් ඔබගේම නිගමන හා සංකල්පනාවන්ගෙන් පිරී ඉතිරී ගිහින්. පළමුව ඔබ ඔබේ කෝප්පය හිස් කරගන්නේ නැතිව මම කොහොමද ඔබට සෙන් ගැන කියා දෙන්නේ?" යැයි පැවසුවා.

Thursday, November 15, 2007

අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය

ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...

තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.













රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.


කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?

















මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.

මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් ද, මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.

එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.

තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)

එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.












සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.

____________

Monday, November 12, 2007

පරණ විනෝදාංශය අළුත් තාක්ෂණයත් එක්ක...

මම මගේ පරණ ප්‍රියතම විනෝදාංශයක් වුන 'චිත්‍ර ඇඳීම' ආයෙත් අළුත් විදියකට පටන් ගත්තා... මම හොය හොය හිටපු චිත්‍ර ඇඳීමේ මෘදුකාංගයක් (නම ArtRage) ඊයෙ පෙරේදා හම්බඋනා... ඒකෙන් දැනට චිත්‍ර 3-4 ක් ඇන්දා.... මවුස් එකෙන් අඳින එක මුලදි ටිකක් අමාරු උනාට පස්සෙ හුරු උනා...

මේ ඉස්ඉස්සෙලම ඇන්ද චිත්‍ර වලින් එකක්.... (ඇන්දෙ tracing එකක උදව්වෙන්.... )
anuradhapura-wewa-sunset

Friday, August 17, 2007

විජිතපුර දකුණු දොරටුවෙහි බිහිසුණු සටන

විජිතපුර සටන අලුත්නුවර මංජු ශී‍්‍ර ගේ චිත‍්‍රයකි

සිළුම්ණ පුවත්පතින් උපුටා ගන්නා ලදි.

මහවැලි ගං ඉවුරේ සිදුවූ සටන්වලින් හා ගල්කුලමේ දී වූ පරාජයෙන් පසු නොමැරී බේරුණු සොළී බළසෙන් ඔවුන් ගේ මහා බලකොටුව වන විජිතපුර බලකොටුවට වැදුණ හ. සෙනෙවියන් කී බස් අසා රජතුමා සේනා සංවිධානය පිණිස සැප පහසු ඇති සමතල භූමි භාගයක කඳවුරු පිහිටුවා ගත්තේ ය.

ඒ ස්ථානය පසු කලෙක 'කඳවුරුපිටිය' නමින් ප‍්‍රසිද්ධ විය. මෙහි දී එළාර සමඟ කළ යුතු මහ යුදයේ දී යෝධයන් සෝදිසි කරන්නට ඉටා ගත් රජු යෝධයන් ගේත් යෝධයා ලෙස සැලැකුණු නන්දිමිත‍්‍ර හා සටනට කඩොලැතු මෙහෙයැවූයේ විස්ම උපදවන මහ හටනක් බලාපොරොත්තුවෙනි.

මහ හඬක් නැඟූ කඩොලැතු දෙපයින් අළු දූලි නඟමින් ඉදිරියට දිව ආවේ නන්දිමිත‍්‍ර අල්ලා පොළොවේ ගසන්නට ය. එහෙත් නන්දිමිත‍්‍ර හිටිවන ම නැවැතී තමා හා පොරයට එන කඩොලැතු දෙස බලා සිනහවකින් සරදම් කෙළේ ය.

මහත් අභිමානයෙන් යුතු කඩොලැතු කෝපාවිෂ්ඨ ව ගර්ජනාවක් කැර නන්දිමිත‍්‍ර වෙත පැන්නේ ය. මහා බළසේනාවෝ මේ දැවැන්තයන් ගේ සටන බැලීමට රොද බැඳී සිටිය හ. සෙනඟ වෙතින් නැගුණු කාහල නදින් ද ඇතු තවත් ආඩම්බර විය.

තමා වෙත පනින කඩොලැතා ගේ දෙදළින් අල්ලා ගත් නන්දිමිත‍්‍ර ඊළඟ ක්‍ෂණයේ ඇතු උක්කුටික ව බිම හිඳ වූයේ තමා සතු ඇතුන් දස දෙනකු ගේ ශක්තිය මොනවට විදහා පාමිනි. ඇතා ගේ බල තෙද ක්‍ෂය වී ඌ නන්දිමිත‍්‍රට කීකරු වූයේ සිය ශක්තියට වඩා නන්දිමිත‍්‍ර ගේ ශක්තිය තේරුම් ගත්තාක් මෙනි. මෙසේ ඇතු හා නන්දිමිත‍්‍ර පොර වැදුණු ඒ ස්ථානය 'හත්ථිපොර' නමින් ප‍්‍රසිද්ධ විය.

රජතුමා පී‍්‍රතියෙන් උදම් වී විජිතපුරය අල්ලා ගනු පිණිස මහ හටනට පිටත් විය.

එළාර රජු ගේ ඒ මහා බලකොටුව විජිතපුරය අගල් තුනකින් වට වූ ද, මහා ප‍්‍රාකාරයකින් ආවරණය වූ ද එකකි. එහි ද්වාර සියල්ල ලෝහයෙන් කරන ලද්දේ ය. සතුරකු විසින් අල්ලා ගනු තබා සිතන්නටවත් බැරි තරමට ආරක්ෂා සහිත ව පිළියෙළ කැරුණු මේ බලකොටුවෙහි එළාර රජු ගේ මහා සේනාව සන්නාහ සන්නද්ධ ව යුදයට සැරැසී සිටිය හ.

විජිත පුර දකුණු දොරටුවෙහි දී බිහිසුණු සටන් ඇති විය. ගැමුණු රජතුමා ගේ යෝධ පිරිස මෙහි දී කෙළේ අති භයානක සටනකි. මෙහි දී හැම දා සටනට ප‍්‍රසිද්ධ වේළුසුමන අසු පිට නැඟී නැඟෙනහිර දොරටුවෙහි යුද වැදී, අහස් කරණම් ගසමින්, නැවත අසු පිට වැටෙමින් බොහෝ සොළීන් මැරී ය.

එයින් භීතියට පත් ඔව්හු ඇතුළු නුවරට වැද එහි දොර වැසූ හ. ඉක්බිති ගැමුණු රජ යුද කරනු සඳහා වෙනත් දොරටු කරා යෝධයන් මෙහෙයැවී ය. කඩොලැතු හා නන්දිමිතය, සුරනිමල යන යෝධයෝ දකුණු දොරටුවෙහි යුද කළ හ.

එනුවර දිය අගල් තුනකින් හා උස් වූ ප‍්‍රාකාරයකින් වට කරන ලද්දේ වී යැයි මම ඔබට පෙරදී ද කීවෙමි. ඒ කඩොලැතු දෙදණින් හිඳ ගල්සූරා ගඩොල් ඉවත් කැර යකඩ දොරටුව වෙත පිය මැන්නේ ය.

ඇතු දැන් යකඩ ද්වාරය බිඳ දමතැ යි බිය ගත් සොළියෝ බිහිද්වාරයන්හි ඉහළින් සිට රත් කළ යවට ද, කකියවන ලද ඉටි ද ඇතු පිටට දැමූ හ. රත් කළ ඉටි පිට මත වැටුණු කඩොලැතු වේදනාවෙන් මිරිකී මිරිකී දියත්තක් සොයා හඬ නඟමින් දිව ගියේ ය.

ඈත තිබූ මඩ වළක එරුණු කඩොලැතු ගේ පීඩාව දුටු රජ ඇත් වෙදුන් ගෙන්වා ශරීරය මත ලහටු ගල්වා ප‍්‍රතිකාර කෙළේ ය. ඉනික්බිති ගැමුණු රජතුමා ඉතා ආදරයෙන් තමා දරුවකු ලෙස සලකන මේ සතාට කතා කෙළේ ය. කුමරා කඩොලැතු ගේ කුම්භස්ථලය පිරිමැද,

"පුත මේ සටන සිංහල රාජ්‍යයේ විමුක්තිය සඳහා ය. ශාසනයේ ආරක්‍ෂාව සඳහා ය. දිරි ගනුව. නැඟිට ගොස් පහර දෙව" යි කීයේ ය. ඇතු ධෛර්යය උපදවා දියෙන් නැඟුණේ විදුලි වේගයෙනි.

තවත් තැනෙක ඇතු මෙහෙයැවූයේ මෙලෙස යැයි කියා තිබේ. "සතුටු වදන් කියා, මිහිරි ආහාර දී, සළුවෙන් වෙළා, ඇතු පිට සන්නාහ ලවා, ඒ මත සත් ගුණයක් වනසේ එක පිට එක තබා සකස් කරන ලද මී හරක් සම් යොදවා, ඒ මත තෙල් සම් යොදා, ඇතු සටනට මෙහෙයැවී ය." යනුවෙනි.

කඩොලැතු පිටට සොළීන් විසින් රත් කළ ඉටි වත්කළැයි සැලකෙන බලකොටුව පිහිටි ස්ථානය.

එවර ඇතු හෙණ හඬක් මෙන් ගර්ජනා කරමින්, සියලු බාධක ඉවසමින් දොරගුලු සහිත ඒ යදොර වෙත පැමිණ ඊට පයින් ඇන්නේ ය. යදොර මහ හඬ නඟමින් බිම පතිත විය. යදොර ඉහළ තොරණෙහි වූ අබලි ද්‍රව්‍ය ඇතුපිට වැටෙන බව එතැන සටනේ යෙදී සිටි නන්දිමිත‍්‍ර යෝධයා දිටී ය. ඔහු ඉහළට පැන බාහුවෙන් ගසා ඒවා වෙනත් තැනෙක වැටෙන පරිදි පෙරළා දැම්මේ ය.

පළමු අවස්ථාවක ද තමා උක්කුටිකයෙන් හිඳුවීම පිළිබඳ කඩොලැතු සිතේ පහළ වූ වෛරය මේ අවස්ථාවේ දී පහ වී ගියේ ය. ඌ කවරදා හෝ නන්දිමිත‍්‍ර මරා දමන්නට එතෙක් හක්කේ සඟවා සිටි පොර පොල් ගෙඩිය සොඬයෙන් ඇද බිම දැම්මේ කෘතගුණ දැක්වීමේ විලාස පාමිනි.

කඩොලැතු බිඳ දැමූ ද්වාරයෙන් ඇතුළුවන්නට නො කැමැති නන්දිමිත‍්‍ර, සුරනිමල, ගෝඨයිම්බර ආදී යෝධයෝ ඒ ඒ තැනින් අටළොස් රියන් ප‍්‍රාකාරය බිඳ නුවරට ඇතුළු වූහ. එහි දී කඩොලැතු රථ රෝදයක් ගෙන දුවන සොළීන් පොදි පිටින් තළා දැම්මේ ය.

නන්දිමිත‍්‍ර ගැල් තට්ටුවක් ගත්තේ ය. නන්දිමිත‍්‍රගේ ප‍්‍රහාරය තව තවත් දැඩි විය. ගෝඨයිම්බර පොල් ගසක් ගලවා ඒ කඳින් පහර දිදී සොළීන් මරන්නට විය. සුරනිමල කඩුවක් ගෙන පහර දුන්නේ ය.

මහා සෝණ තල්කඳක් ගෙන සොළීන් එළවා පහර දුන්නේ ය. ථෙරපුත්තාභය මහත් වූ යකඩ පොල්ලක් ද ගෙන වෙන් වෙන් ව වීථියට බැස ප‍්‍රතිවාදීන් සුනු විසුනු කෙළේ ය.

ගැමුණු රජුගේ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි ව එළාර ගේ විසි මහා යෝධයෝ හා සේනාව අන්දුන් කුන්දුන් වූහ. ඔව්හු මඟ දිගට දුවමින් අනුරාධපුරය පැත්තට පලා ගිය හ. එළාර රජු පළා යන මඟ ලුහුබැඳ යන වේළුසුමන හා සුරනිමල යෝධයනට කුමරා මෙසේ කී ය. "ඒ රජු මරා දැමිය යුත්තේ මා පමණය. එනිසා ලුහුබැඳ නොයා යුතු ය."

දුටුගැමුණු රජු තමා ලුහුබැඳ අනුරාධපුරයට ද එන බැව් ඇසූ පලා ගිය එළාර රජ එක් තොටක් අසළ ඇමැතියන් රැස් කෙළේ ය. ගැමුණු රජ විජිතපුර බලකොටුව බිඳ ලූ පී‍්‍රතියෙන් නැවතත් කඳවුරුපිටියේ පී‍්‍රතිඝෝෂා පැවැත්වී ය.

එළාර රජ ඇමතියන් රැස් කරවා මෙසේ කී ය. "ඇමතියනි, දැන් අප කුමක් කළ යුතු ද? අප ගේ ඇමැතියෝ කුමක් සිතත් ද? ඒ දුටුගැමුණු රජ තෙමේත් යෝධයෙකි. ඔහුගේ යෝධ පිරිසත් බොහෝ වෙති.

අවුරුදු 44 ක් මෙහි රජ කළත් විජිතපුරය මේ සා පරාජයකට මුහුණදී නැත. එය අසා සිටි එළාර රජුගේ බලවත්ම දීඝජන්තු ආදී වූ යෝධයෝ "සේනාව අප වට කෙළේ අපේ අසංවිධානාත්මක භාවය නිසා යැයි ද, ගැමුණු මනා සංවිධනාත්මක සටනක් කළ බව ද, එහෙත් අපි හෙට සටන් කරම්හ" යි ද කී හ.

මේ අතර දුටුගැමුණු නරනිඳු මෑණියන් දුන් උපදෙස් අනුව බලකොටු දෙතිසක් කැරැවූයේ ය. රජුට ම සමාන රජ රූප දෙතිසක් ද කරවා ඒ ඒ තන්හි තබා රජ තෙමේ ඇතුළු කොටුවෙහි සිටියේ ය.

දැන් එළාර රජු ද ගැමුණු රජු ද සිටින්නේ එක ම ප‍්‍රදේශයක තැන් දෙකක ය. ඔහු පලා ගියේ සටනට නිසි පරිදි සූදානම් වීමට මිස බියකට නොවන වගට පණිවිඩ ගැමුණු කුමරුට ලැබුණේ ය. හෙට උදයේ සටන සිදුවෙතැ යි ද දැන ගන්නට ලැබිණ.

පසු දා එළාර රජු ද යාන වාහන හා භට සේනා සහිත වූයේ පර්වත නම් ඇතු පිට නැඟ සංග‍්‍රාම භූමියට පැමිණියේ ය. දීඝජන්තු කඩු කෙළියෙහි මනා සූරයෙකි. මහ බළයෙන් යුත් දීඝජන්තු යෝධයා කඩු පළඟ ගෙන යුද කරමින් අටළොස් රියනක් අහසට නැඟී විකුම් පාමින් ඒ රජ රූ කඩුවෙන් සිඳිමින් එන්නේ, දුටුගැමුණු රජතුමා සිටි බලකොටුව කරා ද එමින් සිටියේ ය.

විජිතපුර සටනට මොහොත දැන් එළැඹී ඇත

සිළුමිණ පුවත්පතින් උපුටාගන්නා ලදි.

කොස්සෝකන්දේ පජ්ජෝත වැවේ ජල කී‍්‍රඩාවෙන් මතු යළි රැස්වූ ඒ බලසෙන් ගැමුණු නරනිඳු පිරිවරා පැමිණියේ ගල්කුලම හරහා ඔක්කම්පිටියේ තලගුරු වෙහෙරට ය. මේ ගමනේ දී තිරප්පනේ නමින් දැන් හැඳින්වෙන ස්ථානයේ ඒ බළ සේනාවේ අලි ඇතුන් ගාල් කරන ලදී. අසරුවනට මෙන් ම අශ්වයනට ද මඳ විරාමයක් ලැබිණ.

එප්පාවල - කටියාව වැව සමීපයෙහි විහාර මහා දේවිය හා පිරිවර ස්තී‍්‍ර ජනයා නැවතුණු තැන හැටියට සැලැකේ. භික්ෂූන් ඒ වැව ඉස්මත්තේ ළඳු කැලයෙන් පෝෂිත වන ඉසව්වේ දන් පිසීමට පිරිවර ඇති ව නවත්වා, නිරිඳු බළසෙන් පිරිවරා මේ ගමන පැමිණියේ ඇයි දැයි දැන් කා හටත් කුහුලකි.

ගැමුණු නරනිඳු යුදයෙහි දක්ෂ රණ ශූරයකු මෙන් ම පවත්නා තත්ත්වයන් පිළිබඳ නිබඳ අවදියෙන් සිටින්නෙකි. මහියංගණයේ සිට කසාගල ඉවුර තෙක් තමා අටවන ලද ප‍්‍රාදේශික කඳවුරු සියල්ල පයට හසු වූ පස් පිඬක් සේ සුනු විසුනු කළ ඒ යෝධ හමුදාව කෙරෙහි එළාර ගේ භීතිය නැඟී ආයේ ය.

ඒ නිසා ම හෙතෙම ගැමුණු ගේ ගමන් මඟ ගැන වඩා සෝදිසියෙන් ඔත්තු හමුදා මෙහෙයවමින් සිටියේ ය. කසාගලින් තමා ගේ ප‍්‍රධාන බලකොටුව එල්ල කැර ඔක්කම්පිටියෙන් පැන එන හමුදා ගැන දැන ගත් සොළී රජු විජිතපුර මහා බලකොටුව රැක ගැනීමට මහත් ආරක්ෂක පියවර ගෙන තිබිණ. මහවැලි ගඟ දිගට ඇති වෙනත් කඳවුරුවල භටයන් ද එහි කැඳවා තිබිණ.

ඔහු මේ හමුදා සේනාංකයක් කොයි මොහොතක හෝ තමා ගේ බල ඇණිය නසන පරමාර්ථයෙන් එවන්නට කටයුතු යොදන බව ගැමුණු කුමරු තේරුම් ගත්තේ ය. ඒ නිසා නිරිඳු ස්ති‍්‍රන් හා සංඝයා තැන තැන නතර කරවා මේ ගමන ආයේ ය. රජු නැවතුණ මේ ස්ථානය ඓතිහාසික වශයෙන් ද අතිශය වැදගත් රමණීය තැනෙකි.

තල්පත්වල අකුරු ලියූ හිමියන් වැඩ සිටි වෙහෙර පුරාණ තලගුරු වෙහෙර වී යැයි මතයකි. මෙසේ තල්පත්වල අකුරු ලියූ ඒ හිමියන් ධම්මදින්න නම් මහ රහතන් වහන්සේ ය. මෙහි තිබෙන කිරි වවුල් ගුහාව නම් තැන ඒ හිමියන් සතිපට්ඨාන සුතුර දේශනා කරන විට එය අසා කිරි වවුලන් සත්සියයක් ඒ අත්බවින් මිදී දෙව් ලොව ඉපි ද, පසු කාලයක මනුෂ්‍යාත්මභාව ලැබ නිවනට යොමු වූ බව ජනකතා පුරාණෝක්ති අතර එයි.

මේ කතාවට සමාන කතාවක් කිරින්ද යාල හන්දියේ වන ගහණයට යට වුණු නිමලව ආරණ්‍ය සේනාසනය හෙවත් පුරාණ තලගුරු වෙහෙර නම් වෙනත් ස්ථානයක ද එයි. එය ද හැඳින් වී ඇත්තේ තලගුරු වෙහෙර නමිනි. එහි ද වැඩ සිටියේ ධම්මදින්න නම් මහරහත් නමකි.

පුරාණ තලගුරු වෙහෙර

උන්වහන්සේ එහි දී සතිපට්ඨාන සුතුර දේශනා කරන විට කහ ගැරඩියෙක් දහම් අසා සිටි ගෙම්බකු ගිල දැම්මේ ය. දහම් ඇසූ පිනෙන් ගෙම්බා තව්තිසා දෙව්ලොව ඉපැදුණ බව එහි දහම් කතා පුරාණයේ එයි. මේ ස්ථාන දෙකේ ම ධම්මදින්න නම් මහරහතන් වැඩ සිටි ගල්ගුහා කුටි ඇත්තේ ය.

නිමලව වැඩ සිටින කල කිසියම් ධර්ම සාකච්ඡාවකට ධම්මදින්න මහ තෙරුන් තිස්සමහාරාමයට වැඩියේ සෘද්ධියෙනි. අහස් තලයෙනි. මේ දුටු එතැන රැස්වී සිටි අනෙක් භික්ෂූහු මොහු තුළ රහත් බවක් නැත, මේ තරමක අභිඥාවක් පමණයි." යනුවෙන් සිතූ හ.

භික්ෂුහු සිතූ කරුණ අවබෝධ කැර ගත් ධම්මදින්න රහත් හිමියෝ 'මාගේ රහත් බවට මේ මහපොළොව පවා සාක්කි' යැයි පවසා තෙවිටක් තම පා සුළැඟිල්ලෙන් මිහිකතට තට්ටු කළහ. මහ පොළොව බෙරයක් මෙන් හඬ තැළුෑ බව ජන කතාවේ එයි.

ස්ථාන දෙකකම එක ම නමින් විහාරයක් තිබීම, එකම රහත් කෙනෙකුන් සම්බන්ධයෙන් කතා පැතිරීම, වැඩ සිටි කුටි ස්ථාන දෙකෙහිම පැවතීම සම්බන්ධයෙන් මා තුළ පැවැති කුහුල අවිනිශ්චිත බව මම එල්ලාවල නායක හිමියනට පැවැසීමි. උන්වහන්සේගේ පිළිතුර වූයේ එක ම හිමියන් විහාර දෙකේ ම වැඩ සිටින්නට බැරි මන්දැ යි යන්න ය.

කලගුරු වෙහෙරේ වැඩ සිටි හිමිවරුනට පැවැති දුර්භික්ෂ කාලයක දී මහනුවර යුගයේ සිටි මේඝවර්ණාභය නම් රජු මඟªල් ඇතු පිටින් කලගුරු වෙහෙරට වැඩි බව කියැවේ.

වල්පොල රාහුල හිමියන් ගේ 'ලංකා ශාසන ඉතිහාසය' පොතේ ද සඳහන් එපුවත පිළිගන්නෝ අදත් එපෙදෙස සිටිති. එදා මඟªල් ඇතු බැඳ දැමූ දම්වැල දැනටත් විහාරයේ ඇත. කි‍්‍ර. පූ. 4 - 5 අතර කාලයේ සද්ධාතිස්ස මහ රජු කළ විහාර කර්මාන්තයක් ලෙස සැලැකෙන කලගුරු වෙහෙරේ එක තැනෙක නාග භවන නම් ස්ථානයක් ද වෙයි. තවමත් කිරිවවුල් ගුහාව ද පවතී.

අති දැවැන්ත නාගයකු විසින් මේ විහාරයේ ගල් පවුරු හා නටබුන් රැක සිටින්නේ යැයි ගැමියෝ කියති.

කටාරම් කෙටූ ලෙනක්

වැඩුණු මිනිසකුගේ කලවා පෙදෙසක් තරම් ශරීරයක් ඇති අඩි 12 - 13 ක් දිග මේ නාගයා තවමත් දිවමන් බව කියයි. මා මින් පෙර මෙවැනි නාගයන් අතීතයේ වැඩ සිටි බිමක් ලෙස දුටුයේ ගිරුවාපත්තුවේ නයිගල නම් විහාරයේ ය. ගැමුණු නරනිඳු මේ විහාරයේ ගිම් නිවන කල පයිංඩරුවෙක් රජු සොයා පැමිණ දොහොත් මුදුන් දී වැන්දේ ය.

"අවසර දේවයන් වහන්ස, එළාරගේ බල ඇණියක් පැමිණ නුදුරු ගල්කුලමේ අපේ භටයන් වනසා දමමින් සිටිති. සුරනිමල යෝධයා හා වේළුසුමන යෝධයා උන් හා මහත් සටනක් කරති. ඔවුන් පැමිණ ඇත්තේ ඔබවහන්සේ රැඳී සිටින කලගුරු වෙහෙරටයි."

රජ වහා ම කි‍්‍රයාත්මක විය. බල ඇණියට සූදානම් වන සංඥාව නිකුත් කැරිණි. රජ කඩොලැතු විහාරයේ තබා අජානේය අසකු පිට නැංගේ ය. මහා සේනාව ඔල්වරසන් දෙමින් ගල්කුලම බලා පිටත් වූහ.

එහි එන විටත් එතැන එක ම හිස් ගොඩක් විය. සුරනිමල යෝධයා තලා දැමූ සොළීන් ගේ සිරුරු තැන තැන විය. ලභියවසභ, කංජදේව, පුස්සදේව, භරණ ආදි යෝධයෝ දෙපස ඇති ගස් කඳන් බිම පෙරළා සොළීනට පහර දෙමින් සිටියහ.

කුමරුන් එහි පැමිණෙන විට කඩු ගාන්නට ලැබුණේ එක ම එක සොළියකු පමණි. බොහෝ සොළීන් මෙන් ම ධීර වීර සිංහල සෙබළුන් ගේ සිරුරු ද තැන තැන වැටී තිබෙනු දුටු කුමරු තුළ ශෝකයක් උපන්නේ ය.

ඒ බල ඇණියේ සොළීන් එක්දහස් දෙසීයක් පමණ වී. ඉන් තුනෙන් එකක් එතැන ම මරා දමා තිබිණ. පහර දෙන්නට ආ වේගයටත් වඩා වේගයෙන් ඔව්හු යළි පලා ගියහ. ඉක්බිති මහ රජ සිංහලයේ මහා සටනට විජිතපුර සටනට සූදානම් වීමට දැන් මොහොත එළැඹ ඇත්තේ යැයි කියමින් ජය සක් පිම්ඹේ ය.

ගැමුණු නිරිඳුන්ගේ යකඩදෝලියක ගැන කියන කොස්සෝකන්ද

සිළුමිණ පුවත්පතින් උපුටාගන්නා ලදි.

රිටිගල කඳු පන්තියෙන් මෑත්ව ගැමුණු නිරිඳු රජරට බලා යන්නේ, කසාගල හෙවත් කොස්සෝකන්දේ කඳවුරු බැඳගත්තේ ය. ‘කාසපබ්බත’ නමින් මහාවංසයේ සඳහන් වන මේ පින් බිම ලංකාවේ ඉපැරැණි ම බෞද්ධ පූජ්‍යස්ථානයකි. වංශකතාගත තොරතුරු අනුව අනුරාධපුරයේ ආරම්භය දක්වා ම මෙහි ඉතිහාසය දිවෙයි. අදින් වසර 2400 කටත් වඩා ඉපැරැණි කසාගල රජ මහ වෙහෙර, කොස්සෝකන්ද රාජ මහා විහාරය නමින් හැඳින්වෙන මේ ස්ථානය හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ‘කොස්සෝගමකන්ද’ ලෙස ශිලාලේඛන සංග‍්‍රහයෙහි සඳහන් කරනු ලැබිණි.

උතුරු මැද පළාතේ් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මාමිණියා කෝරළේ මරදන්කඩවල නගරයට සැතැපුමක් පමණ නැඟෙනහිරින් හා අනුරපුර ශුද්ධ නගරයට සැතැපුම් 21 ක් දකුණින් මේ මනරම් පින් බිම පිහිටා ඇත. ප‍්‍රාග් බෞද්ධ යුගයට අයත් විහාරයක් ලෙස මෙහි පෞරාණිකත්වය හා පූජනීයත්වය දියුණු තියුණු වෙයි.

අනුරාධපුර නගරයේත්, අනුරාධපුර රාජධානියේත් ආරම්භකයා පණ්ඩුකාභය රජතුමා ය. එතුමන් තම මාමාවරුන් සමඟ අරිට්ඨ පබ්බතයේ (රිටිගල) සටන් කිරීමේ දී කසාගලින් හත්සියයක සේනාවක් කැටුව ගිය බව වංශකතාවෙහි සඳහන් ය. මේ නිසා පණ්ඩුකාභය සමයේ දී පවා මේ පෙදෙස ජනාකීර්ණ පෙදෙසක් ව තිබූ බව නොරහසකි. කි‍්‍ර.පූ. 5 වැනි සියවසට අයත් කසාගල පුරාණය ඉතා දීප්තිමත් ව තිබෙන්නට ඇත.

අනුරධපුර යුගයේ අවසාන භාගයේ ඇති වූ අභ්‍යන්තර අවුල් වියවුල් හා දකුණු ඉන්දීය ආක‍්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත් සමඟ ම මේ ස්ථානය ද වල් බිහිවන්නට ඇතැ යි කල්පනා කළ හැකි ය. දිගු කලක් ජනශූන්‍ය ව ගන කැලෑවෙන් වැසී අලි, කොටි, වලස් ආදී වනසතුන් ගේ වාසස්ථානයක්ව පැවැති මේ ස්ථානය පසුකලෙක වනවාසී භික්ෂූන් වහන්සේලා ගේ ආරණ්‍ය සේනාසනයක් බවට පත් විය. කි‍්‍ර.ව. 19 වැනි සියවස අවසාන භාගය වන විට මේ ස්ථානය ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායට අයත් සඟ පරපුරක් බිහිකිරීමට ද මූලස්ථානයක් වී ඇත.

තම මී මුත්තාට සටනේ දී මහත් රණබිමක් වූ කසාගල මගේ ද යහපත පිණිස වේ යැයි කල්පනා කළ ඒ ගැමුණු නරනිඳු කාසපබ්බතයේ කඳවුරු බැඳ එළාර ගේ විජිතපුර බලකොටුවට පිවිසෙන හැටි බලමින් සිවු මසක් රැඳී උන්නේ ය.


පජ්ජෝත වැව

පොසොන් සඳ රන් තැටියක් මෙන් අහසේ නැඟිණ. පොසොන් උත්සවය සඳහා ‘පජ්ජෝත’ නම් වැවක් කැරවීමට යුහුසුලු වූ රජ වැව බඳවා එහි ජල කී‍්‍රඩා කෙළේය. ඉක්බිති එහි කරවූ නුවර පොසොන් නගර නම් විය.

මහාවංසගත ඒ ප‍්‍රවෘත්තිය සත්‍ය ඓතිහාසික සිද්ධියක් වශයෙන් ගැනීමට කසාගල අසල පිහිටා ඇති පද්දා වැව හා කදිරගාම දැක්විය හැකි ය. එකල ’පජ්ජෝත’ වැව කටවහරට අනුව දැනට පද්දාවැව වී තිබේ. එකල කඳවුරුගම හෙවත් කඳවුර අසල ගම මෙකල කදිරාගම ලෙසින් ව්‍යවහාර වනු ඇත.

අවුරුදු දහසකට අධික කාලයක් කාලයේ වැල්ලෙන් යට වී තිබුණු කසාගල ඉතිහාසය යළි හෙළි වූයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරින්ගෙනි. මෙහි ඇති දුටුගැමුණු සමයට අයත් සෙල්ලිපිය කියැවූ එතුමා, එය සිංහල බසින් ලියැවුණු පළමුවන පද්‍යය බව කීය. එමතු ද නො ව එහි දුටුගැමුණු රජු ගේ අග බිසව ගේ නම සඳහන් වන බවත් ප‍්‍රකාශ කෙළේ ය.

මේ තොරතුරු පුවත්පත්වල හා ශිලාලේඛන සංග‍්‍රහයෙහි පළකැරවීමෙන් මතු සිංහලයන් ගේ මේ අපරාජිත ශුද්ධ භූමිය පුරා විද්‍යාඥයන් ගේත්, උගතුන් ගේත් අවධානයට ලක් විය. මෙහි ගලක කොටා ඇති ගැමුණු සමයට අයත් සෙල්ලිපිය මෙසේ ය.


රහතුන් විසූ ගල් ගුහා අතර ඇවිදිමින්.

"මහ රක්ඬහ ගාමිණි - අබයහ දෙවනපිය
රමනි බරියෙ මිලක තිස - විහාරෙ කාරිකෙ කතිය"

"දෙවියන් ට පි‍්‍රය වූ ගාමිණි අභය රජතුමා ගේ බිසව වූ කතිය විසින් විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමියන්ට පූජා කරන ලදී" ඒ එහි සිංහල අනුවාදයයි. දුටුගැමුණු රජතුමා ගේ යුද පෙරමුණේ පන්සියයක් භික්‍ෂූන් වැඩම කළ බවත්, උන්වහන්සේලා අතර මිලක්ඛතිස්ස නම් හිමි නමක් සිටි බවත්, ථූපවංසයේ සඳහනි. ඒ අනුව මේ සෙල්ලිපිය ඒ වංශ කතා ප‍්‍රවෘත්තිය තහවුරු කරන්නකි.

මාගම සිට අනුරපුරය දක්වා පා ගමනින් වැඩි ඒ තෙරුන් වහන්සේ විෂයයෙහි කම්පික මහරජ, එළාර ගේ බලකොටුව පෙනෙන මානයේ දී මෙසේ විහාරයක් කරවා මිලක්ඛතිස්ස හිමි ප‍්‍රමුඛ සංඝයාට පූජා කරන්නට ඇතැ යි අපට සිතිය හැකි ය. මේ අනුව බලන විට කසාගල විහාරය ඓතිහාසික පුරාවිද්‍යාත්මක මෙන් ම සමාජ විද්‍යාත්මක වශයෙන් ද වැදගත් තැනෙකි. මේ පළාතේ ජනවහර අනුව 'කටියාව වැව' නමින් ළඟ ඇති වැවක් ද ගැමුණු දේවිය කරවන්නට ඇතැ යි කියැවේ. ගැමුණු රජතුමා ගේ අග බිසව ගේ නම කිසි ම ගිරි ලිපියක හෝ වංශ කතාවක සඳහන් නො වී මෙහි මෙසේ සඳහන් වීම ගැන උගතුන් අතර විවාද පවතී.

පරණවිතාන සූරීන් 'කතිය' යනු ගැමුණු රජු ගේ අග බිසව ලෙස පෙන්වා දුන්නත්, පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල හිමියෝ ඒ අදහස බැහැර කරති. උන්වහන්සේ අනුදැන වදාරන්නේ ගැමුණු රජු ගේ අග බිසව 'කතිය' නො ව 'රාජිතා' බව ය. කතිය මෙහි කළ පූජාවන් සැබෑ වුව, ඇය අග බිසව නො ව, පරිවාර බිසවක් පමණකැ යි උන්වහන්සේ වදාරති. 'කතිය' වූ කලි රජු ගේ යකඩ දෝලි බිසවක වන අතර, රන්දෝලි බිසව 'රාජිතා' යැයි ඒ හිමියෝ කියති.

මේ මනරම් පින් බිමේ ඇවිද යන මට පැරැණි නටබුන් රාශියක් දක්නට ලැබිණ. ඒ අතර බ‍්‍රාහ්මී අක්‍ෂාරයෙන් ලිඛිත, නිදන් හොරුන් විසින් අඩක් කඩා දමා ඇති විශාල සෙල්ලිපියක් ද, ගුහා ලිපි කිහිපයක් ද, දෙවන පෑතිස් රජු ගේ යැයි සැලැකිය හැකි ශෛලමය ප‍්‍රතිමාවක් ද, කටාරන් කෙටූ ගල් ගුහා කිහිපයක් ද, ඇත් අස් ආදි නිදන් ලකුණු රාශියක් ද පැරැණි ගඩොල් ආදිය ද මේ අතර විය. මෙහි පුරා විද්‍යා නටබුන් රැසක් තවමත් කැලයෙන් වැසී ඇතැයි සිතමි.

දේවානම් පියතිස්ස රජු විසින් කරවන ලද්දකැ යි සැලැකෙන චෛත්‍යයක් කොස්සොව කන්දේ තිබේ. මහින්දාගමනයෙන් පසු බුදුසමය වැලැඳ ගත් දෙවන පෑතිස් රජතුමන් කළ ශාසනික කි‍්‍රයා අතර, අනුරාධපුරයට හතර පැත්තේ යොදුනක් දුරින් ස්තූප හතරක් කැරැවූ බව වංශකතාදියෙහි සඳහන් ය. එනිසා මෙය දකුණු දිසාවේ කලා වූ දාගබ විය නො හැකි ද?

පජ්ජෝත වැවේ දිය කෙළි පැවැත් වූ රජ, එළාර ගේ පවත් දැන ගැනීමේ නොතිත් ආශාවෙන් පසු වන බව දුටු මහ සෙනෙවියෙක් රජු ඉදිරියට පැමිණියේ ය.

"මහරජ, එළාර නම් සොළී බලපතියා තමන් ගේ බලකොටුවට යොදුනක් දුරින් ඔබතුමා නගර තනවා වැව් සාදවා ජල කී‍්‍රඩා කරන බව අසා බොහෝ කම්පා වී ඇත්තේ ය. අප ගේ හරස් මාර්ගය ගැන තොරතුරු දැනගත් හෙතෙම ගඟ දිගට තිබූ සියලු කඳවුරුවල සිටි සොළී හමුදාව විජිතපුරයට කැඳවා ගෙන විත් තිබේ. එමතු ද නො ව මහරජුනි, දකුණු ඉන්දියාවේ සිටින තම බෑණා කෙනෙකුන් වන භල්ලුක නම් මිනීමරු සොළී නායකයා ද උදව්වට කැඳවන්නට දූතයන් පිටත් කැර යවා ඇත්තේ ය."

සෙනෙවියාගේ කතාවෙන් ගැමුණු නරනිඳු තරමක්වත් සසල වූ බවක් නොපෙනිණ. රජු යමක් කීමට මත්තෙන් තවත් පයිංඩකරුවෙක් දොහොත් මුදුන් දී රජු ඉදිරියේ සිට ගත්තේ ය.

මහරජුනි, මහාදේවිය ඔබ හමුවන්නට කැමැත්තෙන් සිටින්නී ය. එපවත් සැළ කරන්නට මට අණ ලැබිණ! යි ඔහු කී ය.

විහාර දේවිය - මවු බිසවුන් වහන්සේ ගේ අණට කීකරු ව රජ වහා නික්මිණ. සැණෙකින් මවු ඉදිරියේ එකත්පස් ව සිටියේ ය.

කුමරුවනි, මට රජරට යුදය ගැන බොහෝ දේ කීමට ඇත්තේ ය. රහස් උපාය මාර්ග කීපයක් ද කියමි. එය අසන්නැයි." විහාරදේවිය කීවා ය. ඇගේ පරිවාර ස්තී‍්‍රන් ද පිටත් කැර හැර, දෙහෝරාවක් පමණ ඒ මවු බිසවුන් හා කුමරු අතර මන්ත‍්‍රණය පැවැතිණි.

උපාලි සමරසිංහ

ගෝඨයිම්බර වම් පා සුළැඟිල්ලෙන් ජයසේනට පහර දෙයි!

සිළුමිණ පුවත්පතින් උපුටාගන්නා ලදි.

ගිරි නම් සොළියා පැරැදවීමෙන් මතු ඒ ගැමුණු නරනිඳු බළ සෙන් පිරිවරා පැමිණියේ මානෙල් නම් නුවරට ය. එය මහේල නුවර ලෙස ද අන් තැනෙක සඳහනි. මානෙල් හෝ මහේල නමින් යුත්, එළාර රජු ගේ තවත් ප‍්‍රධාන ප‍්‍රාදේශික නායකයේක් රිටිගල ආÿියාකන්ද මහ කළුගල් පව් මැදි කරගෙන ප්‍රධාන දිය අඟල් තුනෙකින් වට කැරගත් බලකොටුවක විසී ය.

මේ රිටිගල ආශ්‍රිත ව පැන නැඟී ඇති රසවත් මෙන් ම අද්භූත ජනක ප්‍රවාද රැසෙකි. රිටිගල විසූ ජයසේන නම් යක්ෂයා හා ගෝඨයිම්බර අතර සටන ඉන් වැදගත් එකකි. ග්‍රන්ථයන්හි කෙසේ වෙතත්, පුරාණෝක්ති හා ප්‍රවාද අනුව මේ සටන සිදුවූයේ රිටිගලට නුදුරින් වූ කලැත්තෑවේ වැව් පිටියේ දී ය.

රිටිගල - ආඩියාකන්ද තපෝවනය ගිනියම් දවාලටත් ඉතා ම සනීපදායි දේශගුණයක් ඇති සිරිලක වැදගත් ස්ථාන අතුරින් ද ප‍්‍රධාන වන්නකි. වංශකතාවේ හා පාලි ග‍්‍රන්ථාදියේහි රිටිගල සඳහන් වන්නේ 'අරිට්ඨපබ්බත' යනුවෙනි. මේ වචනය කිනම් අරුතක් සඳහා යේදුණේ දැ යි නිශ්චය වශයේන් කීම අපහසු ය. එහෙත් අරිට්ඨ යන ශබ්දය 'මහකළු ගල්' අරුත්හි යේදෙමින් සංයුත් අටුවාවේ මාර සංයුක්ත වර්ණනාවේ සඳහනි.

එකිනෙක හැප්පී සිටින මහකළු ගල් තලාව දැකිය හැක්කේ රිටිගල දී පමණෙක් ම වන බැවින් ඒ අදහස නිවැරැදි යයි සිතමි. රිටිගල කඳුවැටියේ මුදුන් කොටස විශේෂයේන් වන ගහනයේන් මතු ව අහස සිඹිනා පර්වත මුදුනකින් ද යුක්ත වීම සැලැකිල්ලට ගත් විට ද පෙනෙනුයේ කළුගල් බහුල කඳුවැටිය අරිට්ඨ පබ්බත වී ඇති බව ය.

දෙවන පියතිස් රජුගේ බෑණානුවන් කෙනෙකු වන අරිට්ඨ කුමරු ගේ් ජන්ම භූමිය මෙහි වූ බැවින් එනම් ලැබුණැ යි තවත් මතයක් ඇත. දෙවනපියතිස් රජුට බැණෑවරු දෙදෙනෙක් සිටියහ. ඉන් එක් අයේකු මහා අරිට්ඨ හැටියට ද, අනෙක් අය අරිට්ඨ හැටියට ද වංශ කතා දියේහි සඳහන් ය.

මින් පළමුවැන්නා මිහිඳු මාහිමියන් වස් විසීමට මිහින්තලාවට වැඩි දින වස්සුපනායිකක්ඛන්ධය අසා 55 දෙනකු සමඟ පැවිදි විය. දෙවැන්නා මහා බෝධි ශාඛාව ගෙන'වුත් රෝපණය කළ පසු කුල පුත‍්‍රයන් 500 ක් සමඟ පැවිදි විය. සමහර උගතුන් මේ දෙදෙන එක් අයකු ලෙස සලකතත් එය සාවද්‍ය බව පුරාවිද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ වදාරති.

උන්වහන්සේ විසින් රිටිගල - ආඩියාකන්ද තපෝවන භූමියේ කරන ලද පර්යේෂණවල දී සොයා ගත් කරුණු සමහරෙක් අපට ද වැදගත් ය.

රිටිගල ප‍්‍රාග් බෞද්ධ යුගයේ සිට ම අපේ වංශ කතාවට එක්වන්නකි. පණ්ඩුකාභය රජු ගේ යුද විස්තර කථනයේ දී ද රිටිගල මහ තැනෙකි. පණ්ඩුකාභය යනු දුටුගැමුණු රජු ගේ මී මුත්තා ය. දුම්රක්ගලින් නික්මුණු පණ්ඩුකාභය කුමරු රිටිගල ට ගොස් එහි වසර හතක් වාසය කෙළේ ය. රිටිගල අසල තරමක නුවරක් ද තිබිණි. මේ අතර දී අභය ගේ මාමාවරු අටදෙනෙක් රිටිගල වටලැවූහ.

සූක්ෂ්ම රණ ශූරයකු හා උපායශීලී කුමරකු වූ පණ්ඩුකාභය ෙච්තියා නම් යක් වෙළඹ සමඟ කුමන්ත‍්‍රණය කොට ඔවුන් පලවා හැර ඒ සේනාව මරා දැමුයේ රිටිගල පාමුල තැනෙක ය.. එසේ මරා දැමූ සේනාවේ ඔළු එක් තැනෙක ගොඩ ගැසූ කල 'ඔළුගොඩක්' මතු වී ලබු කන්දක් මෙන් පෙනුණෙන් ඉන් අනතුරු ව ඒ ස්ථානය 'ලබුගම' ලෙස හැඳින්විණි. එය අද රිටිගලට තරමක් දුරින් පිහිටි ලබුනෝරුව හැටියට මහාචාර්ය ගයිගර් හඳුනා ගත් බව එල්ලාවල හිමියෝ කියති. උන්වහන්සේ ගේ පොතක මේ පිළිබඳ ව මෙසේ කියැවේ.

"ලබුනෝරුවේ සිට සැතපුම් දෙක හමාරක් දුර උතුරට බර ඊසාන දෙසින් පිහිටි තම්මනගල ඇති කි‍්‍ර.ව. එක සියවසට අයත් සෙල්ලිපියක 'ලබුනතර' යන්න සටහන් ව තිබේ. මේ අනුව එය පණ්ඩුකාභය ගේ සටනින් පසු සතුරන් ගේ හිස් එක් රැස් කළ පෙදෙසම විය යුතු ය.

එ පමණක් නො ව මේ පෙදෙස හා පණ්ඩුකාභය සම්බන්ධ ව වංශ කතාවේ සඳහන් වාර්තා සත්‍ය බව මෙයින් පැහැදිලිවේ. මේ යුගයේ රිටිගල ආශ‍්‍රිත ව යක්ෂ නමින් හැඳින්වූ ස්වදේශිකයන් බොහෝ සෙයින් පදිංචි වී සිටි බවටත් ඔවුන් ගේ සහාය පණ්ඩුකාභය කුමරුට ලැබුණු බවටත් සැකයක් ඇති විය නොහැකි ය. පශ්චාත්කාලීන යුගයටත් අදටත් රිටිගලට සම්බන්ධ යක්ෂ කතා පොදු වේ."

දුටුගැමුණු මහ නරනිඳු රිටිගල පෙදෙසේ සටන් මෙහෙයැවූ ඊළඟ රජතුමා ය. ගිරිලක හෙවත් ගිරිතිල් නුවර සටනින් පසු සිංහල සේනාව මහේල නගරය ගැනීමට ගියේ මේ හරහා ය. රජු අනුරාධපුර බලා යන මාර්ගයේන් මඳක් ඉවත මහේල නුවර පිහිටා තිබිණ.

මහාවංස ටීකා විස්තරයේ හැටියට දිය අගල් තුනකින් වටකරන ලද එක දොරටුවක් ඇති පිවිසීමට ඉතා අමාරු ආරක්ෂක ස්ථානයක් හැටියට මහේල නුවර සඳහනි. මහමඟ ඇසුණු තූර්යනාද නිසා ගැමුණු රජු ආපසු මහේල නුවරට හැරුණු බවත්, හැරුණු ස්ථානයේ කළ නගරය 'නිවත්තගිරි' නමින් හැඳින් වූ බවත් අට්ඨකතාවේ සඳහන් වන බව වංසත්ථප්පකාසිනියේ දැක්වේ. මහේල මන්ත‍්‍ර යුද්ධයකින් මරා දැමුණු බව කියතත් ඔහු මරා දැමා ඇත්තේ උපායශීලී ක‍්‍රමයකින් බව මම පෙර දී ඔබට කීවෙමි.

මේ නුවර සද්ධර්මාලංකාරයේත් ථූපවංශයේත් සඳහන් වන්නේ මානෙල් නුවර, මහේලක, මකුලක, මහිලක, හා මංගුලක ආදී නම් සියල්ලෙන් ම හඳුන්වා ඇත්තේ එක ම ස්ථානය බවත්, සූරතිස්ස රජු මංගුලක විහාරය කරවූයේ මෙහි බවත්, එය අරිට්ඨ පබ්බතය පාමුල පිහිටා තිබූ බවත් සැලැකිය හැකි ය.

මේ රිටිගල මහා තපෝබිම කොටස් ගණනාවකට වෙන් කැර, එහි ඇති අභිලේඛන හා ගිරි ලිපි කියවා ඇති එල්ලාවල හිමියෝ නැරැඹිය යුතු ස්ථාන ලෙස මේවා දක්වති.

ආඩියානන්ද කොටස, වේවැල්තැන්න කොටස, මරක්කළ උල්පත කොටස, කරඹහින්න කොටස, නාඋල්පොත කොටස මින් ප‍්‍රධාන ය. වන සතුන් ගෙන් හා දරුණු කිනිතුල්ලන් ගෙන් නොමඳ කරදර විඳිමින් මේ ලිපි කියවා ඇති ඒ හිමියන් රිටිගල පිළිබඳ මතු කැර පෙන්වා දුන් ලේඛන ජාතික වශයේන් ඉතා ම වැදගත් ය.

රිටිගල සෙනසුන මුදුනේ මහා හටන් පුරුදු පුහුණු වූ අතුල සෙනෙවියා නිරිඳුට කළ මෙහෙය අපට අමතක කළ නොහැකිය. සුදලිය හා මරුවල්ලිය නම් අතීත අංගම් හටන පරම්පරා අතර එක් පරම්පරාවක (මරු වල්ලිය) ප‍්‍රධානයා වූයේ රිටිගල ජයසේන ය. ඒ හටන් සඳහා සංග‍්‍රාම භූමිය වූයේ මේ රිටිගල මහකළු ගල් තලාව යි. අංගම් පොර කෙටීමෙහි අති දක්ෂයකු වූ රිටිගල ජයසේනට කුණ්ඩලීන ශක්තිය පවා පිහිටා තිබුණේ ය.

මහ කළු ගල්තලාව ඔවුන් ගේ අංගම් කෙටීමේ 'ඌරා ළිඳ' ලෙස ද ප‍්‍රකට ය. ගැමුණු මහ නිරිඳුට තවත් අනල්ප මෙහෙයක් කළ ගෝඨයිම්බර තවත් අංගම් සූරයේකි. මේ දෙදෙන අතර සිදු වූ අති දැවැන්ත සටන ගැන පුවත නිරිඳු රිටිගල පාමුල දී තොරතුරු ප‍්‍රකාශකයන් වෙතින් ඇසී ය. මම ඒ පුරාණෝක්තිය ඔබට කියන්නේ රිටිගල වඩාත් ම ජනතාව අතර ප‍්‍රකට ව ඇත්තේ රිටිගල ජයසේන නිසා බැවිනි.

ගෝඨයිම්බර ගේ බිරිය අභිරූපී කතක් වූවා ය. ඕ නාරි ලාලිත්‍යයේන් අනූන වූවා ය. ඇය රිටිගලට නුදුරු තැනෙක කලැත්තෑව වැව් පිටියේ ස්නානයේ යේදෙමින් සියපත් අත දරා උන්නා ය. රිටිගල ජයසේන නම් යක්ෂ නායකයා මෙතැනින් තාම්බ‍්‍රපණ්ණී නම් අමු සොහොන වෙත යන්නේ ඇය දැක ඇගේ රුවට ලොබ බැඳ ඇගේ ශරීරයට ආරූඪ විය. ඇය ක්ලාන්තයේන් මෙන් බිම වැටී හොත්තේ කටින් සෙම වගුරමින් නන් දෙඩවූවා ය. ජයසේන ගේ පිරිවර ඉන් තුටු පහටු ව අත්පොළසන් දුන්හ. ගෝඨ ගේ හිතවත් පිරිස මේ ඉවසිය නොහී යෝධයා වෙත පවත් දැන්වී ය.

අසුරු සැණෙකින් එහි පැමිණි ගෝඨයිම්බර යෝධයා "එම්බල යක්ෂ කොල්ල, තා නිවටයේකි. මේ කත නුඹට කළ වරද කිම? නුඹ දක්ෂයේක් නම් මට ආරූඪ වනු. තගේ පිරිමිකමක් ඇත්නම් ඇගෙන් මෑත් ව මා හා සටනට පිවිසෙව." යි කී ය. මහත් ලජ්ජාවට හා කම්පනයට පත් ජයසේන ඇගේ සිරුරෙන් මෑත් ව මහා දළ පෙනුමකින් සැරැහී මහා උස් ශරීරයක් මවා දළ දෙකක් ද මවා ගනිමින් පෙනී සිටියේ ය.

"එම්බල මිටි කැනහිල, තා දැනගනුව, මම රිටිගල ජයසේන නම් වෙමි. ගිය ගිය සටනින් නො පැරැදුණු මා සේනාවක් වැනි වූ නිසා මට ජයසේන නම් කියති. තා, මේ රිටිගල වනය පාමුල ගල් පව්වක ගසා තළමි" යි කී ය.

යක් පිරිවර අත්පොළසන් නැඟූහ. ගෝඨයිම්බර එබස් අසා,

එම්බල යක්ෂ පෝතකය, තා, මෙන් මා කෙනකුට එකවර නිගරු නො කරමි. තගේ මතු යම් දවස ගැන දන්නේ මාගේ පා සුළැඟිල්ල පමණෙකැ යි කී ය.

තාම්බ‍්‍රපණ්ණි අමු සොහොන සොයා යන ගමනේ පමා ව ගැන කරුණු දන්නා ජයසේන, අදින් සත්වන දවස කලැත්තෑව වැව් පිටියේ අපේ සටන වේ' යැයි කියා එතැනින් නික්මිණ. දින කීපයක් ගත වී නියමිත දිනය උදා විණි.

ගෝඨයිම්බර යෝධයාට සටන මතකයට ආවේ එදා උදෑසන ය. ඔහු පිරිවර ද නැති ව ගල්කුළු අතරින් පනිමින් ඉක්මන් ගමනින් වැව් පිටියට ආවේ ය. රිටිගල ජයසේන මහ පිරිවර ද සහිත ව එතැනට පැමිණ සිටියේ ගෝඨයිම්බර එන බව දැක තවත් වහසි බස් කී ය. එහෙත් ගෝඨයිම්බර විදුලි සැරයක් මෙන් අහසේ කැරැකී උස් වූ ජයසේනට වම් පා සුළැඟිල්ලෙන් පහර දුන්නේ ය. ඒ පහර වැදුණේ ජයසේන ගේ ගෙලට ය. ගසින් හෙළුෑ තල් ගෙඩියක් මෙන් ඔහු ගේ හිස කලැත්තෑව වැව් පිටියේ ඇද වැටුණේ මහ හඬ නඟමිනි. රුහිරු ගංගා ගලන්නට විය. මේ හටනේ දී එල්ල වූයේ එක ම එක පහරක් පමණි. ඒ ගෝඨයිම්බර ගේ පා පහර ය.

ජයසේන මරා දැමූ ගෝඨයිම්බර ගැමුණු නිරිඳු සොයා යන්නේ තමන් ගේ වික‍්‍රම පැවැසීමට ය. එහෙත් සුරා මතින් මත් ව සිටි ගෝඨයිම්බරට රජු හමුවීමට අවස්ථාවක් නො ලැබිණි. අනතුරුව නිරිඳු මෙපවත් දැන ගත්තේ රිටිගල පාමුල යුද කටයුතු සංවිධාන කරමින් සිටිය දී ය.

කෙනෙකුට සිදුවන ඕනෑ ම විපතක දී, කරදරයක දී 'අනේ රිටිගල හත් රජ්ජුරුවනේ' කියා අත්තක් කඩා එල්ලූ පසු සියලු උවදුරු දුරු වී යන බව කියති. එහි විහාරකම් කළ රජවරුන් සිහිගැන්වීමක් මෙහි දී සිදු වෙයි. මේ ජනශ‍්‍රැති, අභිවාර එකවර බැහැර කළ නොහැක්කේ ඒ අවට ගලපිටගල, කලුඑබේ වැනි ගම්වල වැසියන් ගේ කතා අනුව ය. අනුරපුර රජ තැන්පත් මහසෙන් රජු සම්බන්ධ ප‍්‍රවාදයක් ද ඇත. ඒ රජු නිතර නිතර මේ කන්දට පැමිණීම සිරිතක් කොට තිබුණේය.

(මහසෙන් රජු කරවන ලද වැව් කීපයක් ද මේ පෙදෙසේ තිබේ.) මේ එන ගමනේ දි රජුට එළකිරි සපයා ඇත්තේ අසල පදිංචි ව සිටි ජන ප‍්‍රධානයේකි. වෙනත් තැන්වලට වඩා මෙහි ඇති එළකිරි රසවත් වූ බැවින් රජු ඊට හේතු විමැසී ය. ජන ප‍්‍රධානයා ඊට හේතු කීමට නොදත් බැවින් රජු උපදේශයක් දුන්නේ ය. මේ අනුව කිරි ගන්නා එළදෙන පිට තල මිටියක් පටවා යැවී ය. තල මිටියේ ඉතා කුඩා සිදුරක් ද සාදා තිබිණි.

එළදෙන කකා ගිය පාරේ තල පැල විය. ඉන්පසු තල වැවී ඇති මාර්ගයේ ගිය පිරිසට දක්නට ලැබුණේ විශාල වැල් මී වනයකට වැදුණු එළදෙන වැල් මී කන බවකි. මේ පරීක්ෂණයේ දී තවත් වැදගත් යමක් සිදු විය. වැල්මී වනය පිහිටා තිබුණේ විශාල වැවක් තැනීමට සුදුසු පරිසරයක ය. මෙය දැන ගත් රජ එහි පැමිණ එහි මින්නේරිය වැව කැරවී ය. මේ ජන කතාව මෙහි පැරැන්නෝ අද ද වැල් මී මෙන් රස කැර කියති.

Wednesday, August 15, 2007

සුද්දාගේ පෙට්ටියෙන් එලියට විත් ලොව දකිමු.

වත්මන් අධ්‍යාපන රටාව ඔස්සේ ලංකාවාසී බොහෝ දෙනා තවමත් ඉගෙන ගන්නේ සුද්දා ලොකය දුටු ආකාරය අනුව සුද්දා විසින් ගොඩනගන ලද දැනුම් පද්ධතිය හැදෑරීමෙනි. එම අධ්‍යාපන ක්‍රමය යටතේ සුද්දා "සත්‍යය" යැයි සිතූ දේ හා "සත්‍යය" යැයි දුටු දේ අපද සත්‍යය යැයි සිතන්නටද දකින්නටද පෙළඹවයි. සුද්දාගේ දැනුම් පද්ධතියට පරිබාහිර හා හසු නොවූ දේ විද්‍යාත්මක හෝ සත්‍ය හෝ නොවේ. නැතහොත් මිථ්‍ය විශ්වාස ගණයට දමයි.

සිංහලයින්ට සාපේක්ෂව ඇතැම් ක්ෂේත්‍ර වලදී සුද්දා සිටින්නේ බොහෝ පිටුපසිනි. නමුත් සෑම දෙයකින්ම ඉදිරියෙන් සිටින්නේ සුද්දන් බව පුන පුනා පවසා "එක දමාගැනීමට" හා තම ආධිපත්‍යය හොදින් හෝ නරකින් ලොව පුරා ව්‍යාප්ත කිරීමට සුද්දාට ඇති අමන ගතිය නිසාත් වර්තමාන ලෝකයේ සුදු ආධිපත්‍යය වැඩි නිසාත් බොහෝ දෙනා විමසා බැලීමකින් තොරවම සුද්දාගේ මතයට එකග වෙති.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් මෙම කරුණ විමසා බලමු. සුද්දාගේ වෛද්‍ය විද්‍යාවට (බටහිර වෛද්‍ය ක්‍රමය) අමතරව ලෝකයේ විවිධ රටවල නොයෙකුත් වෛද්‍ය ක්‍රම පවතී. ඉන්දියාව හා ලංකාව මූලික කරගනිමින් බිහි වූ ආයුර්වේද වෛද්‍යක්‍රමය හා සිංහල වෛද්‍යක්‍රමයත්, යුරෝපයේ බිහි වූ හෝමියෝපති, ඇලපති වැනි වෛද්‍යක්‍රමත්, චීනය හා පෙරදිග මූලික කරගනිමින් බිහි වූ කටුචිකිත්සාව, ෆේත් හීලින්, චීගොන්ග් ආදී වෛද්‍යක්‍රම මගිනුත්, අප්‍රිකාවේ හා අරබියේ බිහි වූ වෛද්‍යක්‍රම මගිනුත් මිනිසාට වැළදෙන රෝග අතුරු ආබාධ ඇතිවීමකින් ‍තොරව සුව වේ. එමෙන්ම එවන් විවිධ රටවල් හා ජාතීන්ට ආවේණික වූ වෛද්‍යක්‍රම සුද්දාගේ වෛද්‍යක්‍රමයට සාපේක්ෂව සෑම අතකින්ම පාහේ ඉතා උසස් මට්ටමක පවතී. නමුත් ලොව පුරා සෑම තැනකම සුද්දාගේ වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත වී හමාරය.
ඇසේ ලෙඩේට කකුලේ බෙහත් බැදීම සිංහල වෛද්‍යක්‍රමයේ ඉතා පුදුම සහගත ප්‍රතිකාර ක්‍රමයකි. එයින් ඇස් රෝග සුවවන බව සිංහල අපි හොදින් දනිමු. නමුත් සුද්දාට හා සුද්දාගේ අනුගාමිකයින්ට මෙය අදහාගත නොහැකි මෝඩ වෙදකමකි. එහෙයින් එය විහිළුවකි!
නාඩි බලා ලෙඩේ පැවසීමට සිංහල වෙදැදුරන්ට හැකියාවක් ඇත. නමුත් බටහිර වෛද්‍යවරුන්ට ලෙඩේ සොයාගැනීමට පරීක්ෂණ ගණනාවක් කල යුතුය, යන්ත්‍ර ගණනාවකගේ සහය අවශ්‍යය. එසේ තිබියදීත් ඇතැම් අවස්ථාවලදී රෝග විනිශ්චය වරදී.
සිංහලයින් මානසික රෝග සුව කලේ ශාන්තිකර්ම මගිනි. නමුත් සුද්දාට හා සුද්දාගේ ගැත්තන්ට සිංහල ශාන්තිකර්ම හුදෙක් යකුන් හා පෙරේතයන් උදෙසා කරන පූජාවක් හෝ ගෝත්‍රික ඇදහිල්ලකි. සුද්දා මානසික රෝග සුවකරන්නේ රෝගියාට දසවද දී, දම්වැල් වලින් බැද මොළේ කරවෙන, කෙස් හැලෙන, අතුරැ ආබාධ ගණනාවක් වැළදෙන කර්කෂ ඖෂධ රෝගියාට පෙවීමෙනි.

තවද සුද්දාට අනුව සෑම දෙයක්ම, සෑම නිර්මාණයක්ම ජ්‍යාමිතික හැඩයකට තිබිය යුතුය. ලෝකය ගෝලාකාර යැයි සුද්දා කියුවත් එය මත විශාල කදු හා විවිධ භූ විෂමතාවයන් පවතින බව ඔහුද දනී. විශ්වය, චක්‍රාවට, ක්ෂීරපථය, සෞරග්‍රහ මණ්ඩලය, ග්‍රහලෝක වල සිට අණු, පරමාණු, ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන දක්වා සියල්ලම සුද්දා දකින්නේ තමන්ට අවශ්‍ය ජ්‍යාමිතික හැඩයකට අනුවය. නැතිනම් දකින සෑම දෙයක්ම යම් ජ්‍යාමිතික හැඩයකට ඌනනය කිරීම සුද්දාගේ සිරිතය. මෙසේ අන්තයට ගිය විට සත්‍යය වෙනුවට ඔහුට හමුවන්නේ විකෘතියකි. උදාහරණයක් ලෙස පරමාණු හා ඉලෙක්ට්‍රෝන සම්බන්ධ සුද්දාගේ සොයාගැනීම් හා අවබෝධය ගත හැක.

අප ජීවත් වන්නේ සම්මුතික ලෝකයක් තුලය. එකම කරුණ සම්බන්ධයෙන් විවිධ සංස්කෘතීන්ට සාපේක්ෂව එකිනෙකට වෙනස් සම්මුතීන් පැවතීම ලෝදහමයි. තමන් ලෝකය දකින අයුරින්ම අනෙකුත් ජාතීන්ද ලෝකය දැකිය යුතු යැයි සිතීම සුද්දාගේ ගතියයි. නමුත් ඒ මෙලොව මත සුදු ආධිපත්‍යය පවතිනතාක් කල් පමණි.

සුද්දාගේ පෙටිටියෙන් එලියට විත් ලෝකය දැකීමට අනන්‍ය සංස්කෘතියක් ඇති සෑම ජාතියකටම අයිතියක් ඇත. එලෙස වෙනස් ආකාරයකට ලෝකය දුටුවද වෙනත් ජාතියකට තමන් දකින දේ බලෙන් පෙවීම යුක්තිසහගත නැත.

।::නිලක්ෂ ::।

Sunday, August 5, 2007

සිරිත් මල්දම ( 3 කොටස )

1. සැමට සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොද දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

2. වැඩක් නොයෙදු සිත
නරක අතට ම පෙරලෙත
කිමෙක වන යහපත
වැඩෙක එබැවින් යොදනු තම සිත

3. කටයුතු කිරීමය
නො කටයුතු නො කිරීමය
අණ පිළිපැදීමය
මෙතුන් ගුණ දියුණුවේ මගමය

4. මෝරන වී කරල
නැමෙයි රස වැඩිවෙන කල
නුවන මෝරන කල
එමෙන් දරුපෙළ නැමෙයි මනකල

5. බඩු පිරෙන තරමට
ගිලෙයි නැව සමුදුර පිට
ඉසුරු වැඩි වෙන විට
උඩගු නැති අය පවති එලෙසට

6. කසල ගොඩ තිබුණත්
මැණික් අනගිය සිරිමත්
එමෙන් සුලුදන පුත්
උතුම් වෙයි හොද සිරිත් දැරුවොත්

7. නමින් පටබැන්දත්
රනින් රුවනින් දිලුනත්
කුලෙන් රජ වූ වත්
එයින් පල කිම සිරිත් හැරියොත්

8. කුලේ ඇති මහතය
කැලේ යන බව නියතය
බලේ හොද සිරිතය
දිලේ සඳ ලෙස දෙලොව සැපතය

9. උසස් කුල උපතත්
දහස් ගම් බිම් තිබුණත්
පිරිස් බල සිටියත්
උසස් නැත සිප් සතර නැතහොත්

10. පහත් කුල උපතත්
නැතත් රූසිරු පෙනුමත්
උගත් සිප් ඇතහොත්
පුදත් රජවරු පවා සැක නැත්

11. පිරෙන තෙක් විසි වස
ඉගෙන ගැනුමෙහි සිටි යස
පිරුණු කල තිස් වස
තරුණ පෙළ බැබළේය ගරු ලෙස

12. ගුරු වදන සහිමය
ගරු කර ගැනුම යුතුමය
සරු බවට මගමය
බොරු නොවෙයි පෙර පඬ්හු බසමය

13. ගුරුන් ගුණ මහතය
දෙගුරුන් ගුණ ද මහතය
මෙකී ගුණ මහතය
සැලකූ අයහට මහත් සැපතය

14. හොදින් හැදූ දරුවන්
මව්පියො වාසනාවන්
තම මව්පිය රුවන්
පිදු දරුවොද වාසනාවන්

15. ගෙදොර සැම කටයුතු
හොදින් සලකා කළයුතු
කීවට නො කළයුතු
කරුණු සතුටින් බලා කටයුතු

16. නිසි පිළිවෙල රැගෙන
සියුම් පිරිසිදුකම ගෙන
ඇද නැති ගතිය ගෙන
සියලු වැඩපල කරන් සතුටින

17. ගතහැකි දෙය වැඩට
අහක නොදමනු කිසිවිට
වැඩ නැති දෙය නුඹට
දෙනුව ඉන් වැඩ ගන්න අයහට

18. සුළු වරද කෙරුමෙන
මහත් වැරදිත් වෙයි දැන
සුළු වරද සුළු මෙන
සිතා නො ගනින් මතු බලා ගෙන

19. හරි දෙය වැරදි ලෙස
වැරදි දෙය හරි දෙය ලෙස
පිළිගැනුම තද දොස
එයින් විපතක් වේය අපහට

20. කළ වරද යට කර
බොරු බස් කියන මැරවර
එක වරද දෙක කර
මහත් හිරිහැර ලබයි වැඩිපුර

21. වරද නොම දන්නා
කීවිට පිළි නො ගන්නා
අපා ගති වන්නා
අසයි ගුණ දොස් සුගති වන්නා

22. කිසිවක් පටන් ගෙන
එහි හරි වැරදි ඇසුමෙන
පලක් නැති බව දැන
අසනු මුලදිම හිතැති අය ගෙන

23. තම අත තම හිසට
අන් අත නොවෙයි හැම විට
නිතින් එය සිහි කොට
කරනු වීරිය හොදින් හැදුමට

24. තම දොස මහමෙර මෙන් ගොඩ වූවත්
අන් දොස අබ ඇට මෙන් සුළු වූවත්
තම දොස නොපෙනී අන් දොස පවසත්
එම දොස මහ විපතින් ඔහු වැනසෙත්

25. තම ගති නුහුරට පමුණගත් විට
එළඹෙති විගසට හැම දොස සත හට
හොද ගති නරකට හැගියයි ඔවුනට
හිත ඇති අයහට නුරුසත් එම විට

26. අනුන්ගේ යසසට මසුරු කෙරේ නම්
තමන්ගේ යසසට මයි අනතුරු නම්
තමන්ගේ පණකොට ලොව සලකා නම්
ඔවුන්ගේ දෙවිකොට පෙනෙයි තමා නම්

27. කළ ගුණ සලකන අය දෙවියන් වැනි
කළ ගුණ නොතකන අය රකුසන් වැනි
මෙම බණ දැන ගෙන සියපණ විලසිනි
කළ ගුණ අය දැන සලකනු බැතියෙනි

28. මුහුණ ද අත පය සෝදා ගන්නේ
ඔලුව ද තෙල් ගා පීරා ගන්නේ
කිළිටු ද වැරහැලි ඇඳ නොම ගන්නේ
හැමසද පිරිසිදු ලෙස සිට පන්නේ

29. දොරකඩ ඉදගෙන කතා නොවන්නේ
එළිපිට සිටගෙන රෙදි නාදින්නේ
ගෙන්පිට සිටගෙන හිස පීරන්නේ
අවරණ ඇති තැන නිදා ගනින්නේ

30. ඉණ රෙදි අදිමින් පාරෙ නොයන්නේ
රෙදි හඩ නගමින් පා නොතබන්නේ
තමරුව බලමින් උඩගු නොවන්නේ
හැඩ නිල බලමින් ගමන් නොයන්නේ

31. රේස් ගොනුන් බැදගෙන නුදුවන්නේ
පොර කුකුළන් ගෙන පොරට නොයන්නේ
දුව පනිමින් ලොතරැයි නොකරන්නේ
අයුතු මගින් සෙල්ලම් නොකරන්නේ

32. පාරෙහි තැන තැන කටු නොතබන්නේ
කඩුලු තිබෙන තැන උල් නොතබන්නේ
සතුන් යනෙන තැන මදු නොතබන්නේ
ඉන් ඔවුනට වන දුක සලකන්නේ

33. ඉරටි කෙමන් හැදුමට නුදුවන්නේ
බිලි බාමින් තැන තැන නොසිටින්නේ
දුවපනිමින් හුලුමන් නොකොටන්නේ
බොර කරමින් වලවල් නොඉසින්නේ

34. යහපත් වැඩ ඇති තව අහපන්නේ
වැදගත් අය දැක නම්බු කරන්නේ
දුටුවන් මගකදි සිට නැමියන්නේ
කීවත් ‛තෝ’,‛බොල’ තරහ නොවන්නේ

35. අනුන්ට බුහුමන් දී සලකන්නේ
තමන්ට බුහුමන් ලැබෙයි එයින්නේ
අනුන්ට තම වංසය කියමින්නේ
ලබන්ට නම්බුව නොසිතාපන්නේ

36. එකම වැඩක නිතරම නොයෙදෙන්නේ
වෙනම වෙනම වැඩ සලකා ගන්නේ
පෙනුම ඇතුව හොද වැඩ කරපන්නේ
තරම නොදැන වැඩකට නොබසින්නේ

37. දුදනන් දැකලා මග හැරපන්නේ
සුදනන් දැකලා මග නාරින්නේ
උතුමන් දැකලා දුන් බස ගන්නේ
ඉහළින් පැනලා බස් නොකියන්නේ

38. උතුමන් ඉදිරියේ කෙළ නොගසන්නේ
ඉදිමින් එහි පා දිගු නොකරන්නේ
එලෙසින් ඉද ඈනුම් නාරින්නේ
සියතින් එලෙසම හිස නොකසන්නේ

39. ගතු ඇසු පමණින් බාර නොගන්නේ
සිතු ලෙස සොයමින් අදහා ගන්නේ
ගතු බොරු කියමින් ලොව නොනසන්නේ
සිතු දොස තරමින් තම නොනැසෙන්නේ

40. බයෙන් තැවුල් අය ළඟ නොනිදන්නේ
දිරූ ගෙවල් ගස් ළඟ නොසිටින්නේ
පාළු ගෙවල් ළින් ළඟ නොසිටින්නේ
දෙමැද දවල් තනි මග නොමයන්නේ

41. මල මූ ඇති තැන අවරණ වන්නේ
තැන තැන සිටගෙන නුසුදුසු වන්නේ
මග වෙත ඉදගෙන නොහොබි සිතන්නේ
කී විදි දැන ගෙන පිළිපැදපන්නේ

42. කෑමක් යමෙකුට සතුටින් දෙන්නේ
පෙනුමක් ලෙස නිසි බඳුනක දෙන්නේ
කෑමක් කන තැන කෙළ නො ගසන්නේ
තරහක් වී එහි කෑ නො ගසන්නේ

43. සුරුට්ටු බීමෙන් හදවත විස වෙයි
ඇඟපත දිරුමෙන් කට ගඳ ඇති වෙයි
මත් ගතිවීමෙන් නුවණ ද අඩු වෙයි
කැස්සද සැදුමෙන් ආයුෂ කොට වෙයි

44. දුම්කොළ හැපුමෙන් දත්මුල් කුණු වෙයි
කටගඳ වීමෙන් වස පිළිකුල් වෙයි
කෙළ වැගිරීමෙන් දිව රස අඩු වෙයි
බල අඩු වීමෙන් සිහිය ද මඳ වෙයි


45. බුලත් විකීමෙන් දත්මුල් කැත වෙයි
දිව රළු වීමෙන් හඩ අමිහිරි වෙයි
කට කැත වීමෙන් ඇඳුම ද කැත වෙයි
වැඩ පසු වීමෙන් කාලෙ ද නැති වෙයි

46. මත්පැන් බීමෙන් ලේ කෝපය වෙයි
වෙරිමත් වීමෙන් සිහි විකලය වෙයි
බල අඩු වීමෙන් නෙත ලෙඩ ඇති වෙයි
දුප්පත් වීමෙන් අකල් මරණ වෙයි

47. ඇත්ත නැත්ත නැති ඇති කර පැවසීම
සත්ත නොවන බස වෙයි ඒ බොරුකීම
පැත්ත උතුම් වැනසෙයි ලොව දොසින් එම
ඇත්ත නිතර පවසනු දෙලොවෙහි මහිම

48. කෑමට බොහොම පළතුරු ඇත තැනින් තැන
සැපයට නිතර හිතවෙයි ඒ රස බොජුන
ලොබ කොට සතුන් නොමරනු මස් කෑම ගැන
සතහට දුකක් දී තම රැකෙනු ද යෙහෙන

49. දුක් ගෙන දනෝ රැ දාවල් වෙහෙසෙමින
සපයන දෙයට ලොබවෙති සැප පතාගෙන
සියපණ ලෙසට සලකා එම දනන් ගැන
පව් දැන සොර සිතින් නොගනුව එකී දන

50. බීමට අපට පැන් ඇති මිහිපිට සොඳට
සැපයට සිතා මත්පැන් විස බොනු කුමට
වදයට දෙලොව පැමිණෙයි ඒ පව් කමට
ලොබ කොට නො බොනු මත්පැන් කිසිකල සැපට

51. ලොබකර දන මිලට දියුණුව පතා ගෙන
ගොරතර අවමඟට තුන්දොර නමා ගෙන
කරදර අන් අයට කරමින් තැනින් තැන
හිරිහැර සූදුවට නො බසිනු අවැඩ දැන

52. හිසකේ විදාගෙන යම් තැනකට නො යමී
හිසකේ විදාගෙන උතුමන් වෙත නො යමී
හිසකේ විදාගෙන දොරකඩ නොම ඉදිමී
හිසකේ විදාගෙන සබමැද නො ගැවසෙමී

53. මසුරු ගුණැති නො සිරිත් අය සැම වර
සිදුරු සොයති ගුණවත් අය දැක පවර
සොඳුරු ගුණැති යහපත් අය කිසිම වර
මසුරු නො වෙති ගුණවත් අය දැක පවර

54. නො සිරිත් ලෙසට කල් අරිනා අය නිතින
හරහත් යසට හැසිරෙන උතුමන්ට බැන
ගුණවත් අයට දොස් පවරා පව් නො ගෙන
යහපත් ලෙසට හැසිරෙනු උතුමන් ඇඳින

55. සොඳ ගුණ කියා පෙරමුණ බැහැරට ගොසින
ඇති ගුණ මකා නැති ගුණ ලොව පළ කරන
යස ගුණ මකා අවගුණ සිරිතට හැදෙන
මොහු ගුණ බලා බේරෙන ලෙස ගනු ඇඳින

56. සතුටින් යමෙකු කෑමක් දුන් විට බැතින
කියමින් එහි දෝස කනු හොද නැත පෙනුන
එලෙසින් අනුන්ගේ දේවල් කිසිත් ගැන
සොයමින් දෝස කීමද නොහොබී සිතන

57. අනුවණ උඩඟු අයගේ ගතියක සැටිය
ලැබගෙන පිහිට උතුමන් නොතකන සැටිය
දෙ නුවන විලස සලකා වැඩු ඇති සැටිය
සසොබන මහතුන්ට එම සලකනු වටිය

58. හිත ඇතියන් දෙන බස් නො අදහන සත
තම සතුරන් සිත් තොස් වඩවයි සතත
අවගතියෙන් ගුණ දොස් නොදැනෙයි නියත
එම විපතින් සැම දොස පැමිණෙයි සියත

59. දෙගුරුන් ගුරුන් දුටු දෙවියන් ලෙස සිතමු
උතුමන් බසින් ඉටු දෙවියන් දැන ගනිමු
එබැවින් නිතින් මේ දෙවියන් වැඳ ගනිමු
බැලුමෙන් හොදින් ගුරු දෙගුරුන් රැක ගනිමු

60. මවුපිය ගුරුන් වැඩිහිටියන් උතුමන්ද
පැවිදි උතුමන්ද සිල්වත් සුදනන්ද
සැළකිය යුතු මෙකී අය ඉදිරි එන සද
වදිනු ය නැගිට ගරු බුහුමන් ලෙස පැහැද

61. වැඩුනොත් යමෙක් නිසි ගුරු අවවාද ගෙන
සැපවත් කෙනෙක් වනු නියතයි පඬි වදන
එපවත් සිතට ගනිමින් දියුණු වන මෙන
යහපත් ලෙසට හැසිරෙනු ගුරු වදන ගෙන

62. සමා සිත් වේවා
හැමා දොස් දුරු වේවා
මෙමා සිතු වේවා
ළමා පෙළහට ජයක් වේවා

සිරිත් මල්දම ( 2 කොටස )

1. සැමට සෙත් වඩවන
සිරිත් මල්දම බලමින
සිරිත් හොද දැනගෙන
මහත් යසසිරි ලබනු දෙලොවින

2. හොද නොහොද දෙක මය
හොද නොහොද අයගෙන් මය
ගඳ සුවද දෙක මය
ගඳ සුවද එම දෙයින්වනු මය

3. නපුරු අය සමගින
මිතුරු නොමවන් කිසිතැන
රුදුරු නයි විස මෙන
ඇසුරු නොකරනු සොදින් දැනගෙන

4. තම නිවසට පැමිණි
සැම දෙනහට ම කුළුණෙනි
කතා බස් කරමිනි
අසන් තොරතුරු සුදුසු විදියෙනි

5. ඇණුම් පද නොකියමි
බැනුම් කැත බස් නො කියමි
නිකම් බස් නො කියමි
තරම් පමණට වදන් තෙපලමි

6. හිසකේ කැපීම ද
ඉන්න තැන කෙල ගැසුම ද
නියපොතු විකීම ද
අසුබ ලකුණුය සිතන් හැම සද

7. සිනා හඩ ලීමෙන
කතා නොකරනු කිසි තැන
කවට බස් කියමින
උතුම් අය ලඟ කතා නැත ගුන

8. කතා බස් කරමින
සිටින දෙදෙනෙකු අතරෙන
ගමන නොහිබී යන
වසනු යහපති එබව දැනගෙන

9. උරුවන් බබා වත්
සිව්පද කියා ගෙන වත්
සින්දු කියමින් වත්
ගෙවල් අසලින් යාම නොහොබිත්

10. යමෙකු යන එන විට
සිනා නොම සෙන් කිසි විට
පැමිණි කල ගෙදරට
එබී නොබලනු සැඟවී ගෙයි සිට

11. යමක් නො ම ඇසූ විට
උත්තර නොදෙනු පරහට
නුඹෙන් ඇසූ යමකට
දෙනුව උත්තර හොදින් සිහිකොට

12. ගුරුන් දෙගුරුන් වත්
වැඩිහිටි අන් කෙනෙකු වත්
කතාවක් කළහොත්
නැගිට උත්තර දීම යහපත්

13. මවු පිය දෙදෙන වත්
තම ගුරුවරයින් වත්
නුඹෙ වරද ඇසුවොත්
නොසඟවා එය කියනු යහපත්

14. මව්පියෝ උතුම් මය
අපගේ පෙර දෙවිවරු මය
අප රකිනුවෝ මය
වදිමු මව්පිය දෙදෙන මහි මය

15. සියලු යස ඉසුරට
සරිලු නිසි මගපෙම් කොට
බැබලු පිය රුවනට
සියලු තන්හිම වදිමු සිහිකොට

16. ගියත් ගම් රටවල
මහත් දුක් ඇත සිතතුල
වඩත් දරු පෙම් බල
අපිත් අප පිය වදිමු හැම කල

17. නොයෙක් කරදර විද
සැපක් ගැනුමට නොම හිද
දුකක් දැරු හැම සද
මවෙක් වැනි වෙන මෙලොව කවරෙද

18. ලබන තුරු දස මස
දුකින් දැරුවත් දරු කුස
දකින තුරු තම ඇස
කලන මව්වරු වෙසෙත් සැප ලෙස

19. කුලුණු මෙත් වැඩුමෙන
එරුණු කිරි ටික පොවමින
දරුණු දුක් විදගෙන
තියුණු නුවනින් වැඩු පණ මෙන

20. බොලද බස් කියමින්
සුවද මල් ලෙස ඉඔමින්
ඇඟද තෙල් ගාමින්
පැහද මව්වරු වැඩු හැම දින

21. බොජුන් දී රස කර
සොදින් නාවා නිදි කර
පෙමින් සුරතල් කර
මවුන් වැඩු අපි වදිමු හැම වර

22. කිය නොහැකි දුක් ගෙන
වැඩු අප මවු පිය ගුණ
බඹ සුර නා විසින
කියා නිමවනු හැකි ද කෙලෙසින

23. මහලු වී සිටියත්
රුවින් අඩු වී සිටියත්
දුප්පත්ව සිටියත්
දෙමව්පිය වැද පුදනු යහපත්

24. දෙමව් පිය කී යම්
වැඩක් ඇතහොත් කළ යම්
අත් නොහැර කර පෙම්
කරනු යහපති නොකර මැලිකම්

25. දෙගුරුන් ඉදිරියේ
උසක නොයිදිනු සරියේ
එන සද ඉදිරියේ
නැගිට වැදලා සිටිනු සරියේ

26. වරද ඇති වූ විට
දඩුවම් දෙති පෙම් කොට
එ ගැන මවු පිය හට
තරහා නොවඩා යටත් වෙනු සිට

27. මවු පියන්ගෙ ගුණ
දැනෙයි නැති වී ගිය තැන
මෙලොව අඳූරක් වන
මහත් විපතක් වේය දුක් දෙන

28. ඇත නැත තම වරද
පින් සිදුවෙන බැවින් සොද
උදෑසන සවසද
වදිමු මව්පිය දෙදෙන පෙම් බැද

29. හැදෙන විදි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කළණ බස් දෙන කෙනෙකි ගුරුතැන

30. දෙලොව පරලොව ගැන
යුතු බස් කියන කුළුණෙන
ගුරුන් වෙත බැතියෙන
පහත් ගතියෙන් වසනු අදරින

31. ගුරුන් දැක එන සද
තමන් උන් තැන නොම හිද
ගමන් පෙරටුව වැද
කරන් සැළකිලි අසුන් කර පුද

32. ගුරුන් සිත නොරිදනු
කීකරු කමින් පවතිනු
එකට එක නො කියනු
සතුටු මුහුණක් නිතර පෙන්වනු

33. ගුරුවරුන් නුඹ හට
අණක් දුන් කළ වැඩකට
එගැන නුඹ පෙම් කොට
කරන් ඒ දෙය කියූ විලසට

34. වරද ඇති වූ තැන
දඩුවම් දෙති කුළුණෙන
එවිට නුඹ තරහෙන
ගුරුන් නො බලනු අවැඩ වෙයි දැන

35. තරුණ සිතකින් වත්
කුලගොත් උඩඟුවෙන් වත්
ඉසුරු බවකින් වත්
ගුරුන් නොතකා ඉඳුම නො හොබිත්

36. ගුරුවරුන් සැර කොට
නුඹෙන් සිදුවන වරදට
දඩුවමක් දුන් විට
ගොසින් නොකියනු ගෙදර තරහට

37. ගුරුන් ගුණ සළකනු
අසුන් වල සම නොයිදිනු
සැරෙන් බස් නො කියනු
සොදින් කරුණා සතුට ලැබ ගනු

38. පෙමින් සත දැන ගනු
එමෙන් තුන් දොර රැක ගනු
ලොවින් තුති ලැබ ගනු
ගුරුන් දැක වැඳ කමා කර ගනු

39. දනු මැතියන් දෙන බස අහපන්නේ
වැඩිහිටියන් දුටු විට නැමියන්නේ
සොද මිතුරන් සහ දවසැරපන්නේ
ගුරුවරයින් වෙත යටත් වෙයන්නේ

40. මවු පිය දෙදෙනට සළකාපන්නේ
හිරිහැර කෙරුමට සිත නොමගන්නේ
බණිමින් පාරට පැන නුදුවන්නේ
දවසින් දවසට දැන හැදියන්නේ

41. මහලු අයට සරදම් නොකරන්නේ
විහිලු කමට ගල් මුල් නොගසන්නේ
යහලු කමට ඔලගුව නාදින්නේ
මහලු අයට කරුණා කරපන්නේ

42. මවු පිය වරදක් පිට නොකියන්නේ
තිබුණත් වරදක් සැර නොකරන්නේ
උඹලගෙ වරදක් ගැන නොකියන්නේ
ගැසුවොත් පාරක් ගෙට වැදියන්නේ

43. වටපිට නොබලා බස් නොකියන්නේ
වරදට දඩුවම් ඉවසා පන්නේ
ගෙදරට නෑවිත් පිට නොසිටින්නේ
තරහට රට ගම හැර නුදුවන්නේ

44. කඩපිල් වල තැවෙමින් නොයිදින්නේ
දොරකඩ වල ඉද කෑම නොකන්නේ
තොටුපල් වල දැවටී නොයිදින්නේ
පිට තැන් වල රැ නිදා නොගන්නේ

45. රහස් කියන තැන්වලට නොයන්නේ
දොසක් කියන විට තරහ නොවන්නේ
යමක් කියන විට කෑ නොගසන්නේ
හොදින් කියන කල අසා සිටින්නේ

46. පලක් නැතිව පාරෙහි නොසිටින්නේ
දඟක් නැතිව පාරෙහි පලයන්නේ
බයක් ඇතුව රැ එලි නොබසින්නේ
කෙනෙක් නැතිව නෑමට නොමයන්නේ

47. නිදිමත ඇති විට කෑම නොකන්නේ
නිදිමත නැති විට පොත් කියවන්නේ
කුණුකැත සිහිකොට කෑම නොකන්නේ
යහපත සිහිකොට නින්දට යන්නේ

48. ලෙඩක් හැදුණු විට රැකී සිටින්නේ
යමක් ඉදුල් කර පිටට නොදෙන්නේ
ලෙඩක් දැක්ක විට බයක් නොවන්නේ
ලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ

49. ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අදින්නේ
බඩ නෙරුමෙන් රෙදි ඇඳ නොමගන්නේ
හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේ
සුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ

50. ඇඳුමට වැඩි වියදම් නොකරන්නේ
වැඩිකොට ඇඳුමුත් ඇඳ නොමගන්නේ
ගමනට ගෙදරට එක නාදින්නේ
වයසට පමණට ඇඳුම් අදින්නේ

51. ගේ වට කුණු ගොඩවල් නොතියන්නේ
එලි කොට වත්තද සාදා ගන්නේ
සිහි කොට වැට කඩුලුත් බැදපන්නේ
හරකට ගස කොළ ඇර නොතියන්නේ

52. ඉලපත ගෙයි එලිපිට නොතියන්නේ
එලිපත උඩ ඉද කෑම නොකන්නේ
පැන් නැති ගේ තුළ රැ නොනිදන්නේ
දොස ඇත ගෙයි මැද එලි ගෙනයන්නේ

53. කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේ
උදලු ඉදල් දොරකඩ නොතබන්නේ
ඌරු කුකුල් කොටු ගෙට නෑදන්නේ
හුඹස් ගෙවල් ලග වසා දමන්නේ

54. කිළිටු ඇඳුම් එළිපිට නොතියන්නේ
කිළිටු ඇඳුම් ගෙන බඩු නොපිසින්නේ
ඉරුණු ඇඳුම් ඇඳගෙන නොයිදින්නේ
විහිලු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ

55. ලබන්න සැප හැම දෙන තුටුවන්නේ
විදින්න හිරිහැර සතුටු නොවන්නේ
අනුන්ට දුක් දී තම නො රැකෙන්නේ
තමන්ට යුතු වැඩ සපයා ගන්නේ

56. දුප්පත් නෑයන් සලකා පන්නේ
පරැඩැල් විලසින් එම නොසිතන්නේ
සරදම් කරමින් දුරු නොකරන්නේ
හිඟමන් බලමින් සනසා පන්නේ

57. අසරණයන් දැක පිහිට වෙයන්නේ
වැඩ කරුවන් හිරිහැර නොකරන්නේ
දුගී මගීයන් එන සනසා දෙන්නේ
බියවූවන් සිත බය දුරලන්නේ

58. උසුළු විසුළුවෙන් බස් නොකියන්නේ
වට පිට බලමින් ඉඟි නොකරන්නේ
කොක්හඩ පාමින් සිනහා නොවන්නේ
කී දෙය අහමින් දවසැරපන්නේ

59. ආගම ගැන වාදය නොකරන්නේ
පව් හැම දුරුකර පින් කරගන්නේ
නිතරම සිත පිරිසිදු කරගන්නේ
ආගම එම යයි පඬි බස වන්නේ

60. දෙගුරුන් කීවත් පව් නොකරන්නේ
සතුරන් කීවත් පින් කරපන්නේ
කවුරුන් කීවත් විමසා ගන්නේ
එබැවින් යහපත් වැඩ කරපන්නේ

61. අයුතුකමින් වැඩ නම්බු නොවන්නේ
නම්බු ලෙසින් වැඩ සලසා ගන්නේ
කී විලසින් වැඩ දැනුමැතියන්නේ
කර ගනිමින් වැඩ සිදුකර ගන්නේ

62. සොඳුරු සැප වේවා
උතුරු ගුණ වැඩි වේවා
මහරු බල වේවා
මෙදරු පෙළහට ජයක් වේවා