Monday, February 25, 2008

ලංකාවට පුරාවිද්‍යා පර්යේෂකයින් ඕනෑකර තිබේ...

මම මේ දින වල ලංකාවේ ඉපැරණි යුගයන්ට සමගාමී ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳව කරුණු සොයමින් සිටිමි. විශේෂයෙන්ම ලංකාවේ රාවන යුගය හා සමගාමීව පැවත ඇති ඉන්කා, මායා, ඇස්ටෙක්, බැබිලෝනියන් හා ඊජිප්තු වැනි ශිෂ්ටාචාරයන් පිළිබඳව මේ වන විට පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් විසින් කර ඇති අධ්‍යයනයන් පිළිබඳව සොයාබලමින් සිටිමි.

පුදුමයට හා දුකට කරුණ නම් මෙතරම් විශ්මය දනවන නිර්මාණ, තාක්ෂණයන් හා ශිල්පක්‍රම පැවති අපේ සිංහල ශිෂ්ටාචාරය පිළිබඳව ලෝකයේ අවධානයට ලක්ව ඇත්තේ ඉතාමත් නොසැලකියහැකි තරමේ ප්‍රමාණයකිනි. එවන් අයුරින් හෝ කතාබවහට ලක්වී ඇත්තේ අපේ රටේ පර්යේෂකයින්ගේ උත්සාහය නිසා නොව වෙනත් පුරාවිද්‍යා පර්යේෂකයින් විසින් වෙනත් ශිෂ්ටාචාරයන්ගෙන් මතුකරගන්නා ලද ලංකාව හා රාවන රජු ගැන තොරතුරු නිසාය. එම පර්යේෂකයින් ඉතා උද්යෝගයකින් ඉහත කී වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳ හෙළිදරව් කරගෙන ඇති පුදුමසහගත තොරතුරු හා ඒ ඔස්සේ සිදුකරගෙන යන පර්යේෂණ පිළිබඳව සොයා බැලීමේදී මට ඇති වූයේ විශාල කනගාටුවකි. මක්නිසාද, අප රටේ අතීතයෙන් උරුම වී දැනට පවතින හා පැවතුනු බවට සාධක ඇති විශ්මය දනවන දෑ පිළිබඳව සලකා බැලීමේදී අපගේ පුරාණ ශිෂ්ටාචාරය මීට වඩා සිය දහස් ගුණයකින් ලෝකයේ අවධානයට පාත්‍ර විය යුතුයැයි හැඟෙන බැවිනි.

රාවන යුගයේ පටන් අනුරාධපුර, පොළොන්නරු හා මහනුවර යුගයන් දක්වා අප පුරාණ ශ්ෂ්ටාකාරයේ පැවති නිර්මාණ, තාක්ෂණයන්, ශිල්පක්‍රම ආදී අපට අනන්‍ය බොහෝ දෑ පිළිබඳව සැලකීමේදී තවමත් අප සිංහල ශිෂ්ටාචාරය මියැදී නැත. අප ශිෂ්ටාචාරයේ පවතින එම යම්තරමක හෝ ජීවමාන ස්වභාවයම, එය අවධානයට පාත්‍ර නොවීමට හේතුවක් වී දැයි සැකයක්ද මට ඇති විය.

වාරි කර්මාන්තය, පාරම්පරික සිංහල වෙදකම, පාරම්පරික කෘෂිකර්මය හා බැඳුනු තාක්ෂණයන්, බලි තොවිල්, ශාන්තිකර්ම, රූකඩ කලාව ආදී අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘතිකාංග, සටන්කලාව, නටබුන් අතරින් මතුවන ගොඩනැගීම් ශිල්පක්‍රම, වානේ තාක්ෂණය, හා රාවන යුගයේ පැවති ගුවන් යානා තාක්ෂණයන් ආදී මෙකී නොකී බොහෝ දෑ බාහිර ලෝකයේ අවධානයට තවමත් ප්‍රමාණාත්මක අයුරින් ලක් වී හෝ ලක් කර නොමැති බව හැඟේ.

මගේ අවසාන නිගමනය වූයේ අපේ ඉතිහාසය හා ඉතිහාසයෙන් උරුම වී තවමත් පැවත එන දෑ පිළිබඳව පර්යේෂණ පවත්වා ලෝකය හමුවේ තැබීමට රාජ්‍ය මට්ටමින් හෝ ස්වේච්ඡා මට්ටමින් හෝ ඇත්තේ අල්ප උත්සාහයක් බවයි. එමෙන්ම දැනට සිදුකරන පුරාවිද්‍යා පර්යේෂණ පවා සිදුවන්නේ හුදෙක් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබාගැනීමට මිස සැබෑ උවමනාවකින් නොවේ. එවන් ආකාරයෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගත්තවුන්ගෙන් අපේ අනන්‍යතාවයන් ලෝක මට්ටමට ගෙනයා නොහැක. එමනිසා ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනයෑමට නම් ලංකාවට සැබෑ උවමනාවකින් යුතු පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් උවමනා කර තිබේ!