Saturday, April 19, 2008

සෙන් දහම ගැන කෙටි හැඳින්වීමක්

පෙරදිග ආසියාවේ ව්‍යාප්තව පවතින සෙන් දහම (සෙන් බුද්ධාගම, චාන්, සියෝන් වැනි නම් වලින්ද හැඳින්වේ.) බුදුදහමෙහිම මහායාන සම්ප්‍රදායක් වේ.

සෙන් දහමේදී විශේෂයෙන් අවධාරණය කෙරෙන්නේ "සෑම මොහොතකම සවිඥානිකව සිටීම (මේ මොහොත තුල ජීවත්වීම)", "ප්‍රායෝගිකව ජීවිතය විඳීම හා නිරීක්ෂණය මගින් ප්‍රඥාව ඇතිකර ගැනීම" යන කරුණුය.

සෙන් දහම 17 වන සියවසේ දී බෝධිධර්ම හිමියන් විසින් චීනයට හඳුන්වාදී ඇති අතර ඔහු සෙන් දහමේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙයි. බෝධිධර්ම හිමියන් චීනයට බුදුදහම ගෙනගියා යැයි සංකේතවත් කිරීමට සිවුරක්, පාත්‍රයක් හා ලංකාවතාර සූත්‍රයේ පිටපතක් ගෙනගිය බව සඳහන් වේ.

සෙන් දහමේ මූලික ඉගැන්වීමක් වන්නේ "පණ ඇති සෑම ජීවියෙකු තුලම සහජයෙන් පවතින ප්‍රඥාවක් සහ ශීලයක් ඇති බවත් (එම සහජ ස්වභාවය බුද්ධ-ස්වභාවය [Buddha nature] ලෙස හැඳින්වේ.), එම බුද්ධ-ස්වභාවය වෙනෙකක් නොව මනසේ ස්වභාවය බවය. සෙන් වල පරමාර්ථය දෛනිකව අත්විඳින දෑ පිළිබඳව මනා සිහියක් පවත්වාගනිමින් භාවනා කිරීමෙන් තමන් තුල පවතින එම බුද්ධ-ස්වභාවය මතුකර ගැනීම"ය. ආකාරයෙන් ජීවිතය, සංසාරය ගැන ස්වයං-ගවේශනයක යෙදී බුද්ධ-ස්වභාවය ඉස්මතුකරගෙන අවසානයේ "පූර්ණ අවබෝධය" (නිර්වාණය) සාක්ෂාත් කරගැනීම සෙන් දහමේ ඉගැන්වීම වේ.

වචන ගැන විශ්වාසයක් නොතබන ලෙසත්, වචන විවිධ පුද්ගලයන් විසින් වැරදියට අවබෝධකරගන්නා‍ බවත්, බුදුරජාණන්වහන්සේ අවබෝධය ලබාගත්තේ භාවනාව තුලින් මිස පොත්පත් කියවා ඒ තුල වූ වචන තේරුම් ගැනීමෙන් නොවන බවත්, අනෙක් සෑම පුද්ගලයෙකුම බුදුරජාණන්වහන්සේ කළ ආකාරයෙන්ම භාවනාව තුලින් තමන්ගේ ඇතුලාන්තය ගවේශනය කර අවබෝධය ලබාගත යුතු බවත් සෙන් ඉගැන්වීම් තුල විශේෂයෙන් අවධාරණය කෙරෙන කරුණකි.

කෙසේ වෙතත් සෙන් දහමේ මෙම ඉගැන්වීම් වල‍ට පාදක වී ඇත්තේ බුදුරජාණන්වහන්සේ විසින් ලංකාධිපති රාවන රජුට දේශන කළායැයි කියවෙන "ලංකාවතාර" සූත්‍රයයි. එම සූත්‍රය පාදක කරගනිමින් බෝධිධර්ම හිමියන් සෙන් දහම ඉගැන්වූ බව සෙන් දහමේ ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම විමලකීර්ති නිර්දේශ සූත්‍රය, නෙළුම් (පද්ම) සූත්‍රය, දියමන්ති සූත්‍රය, හෘදය ප්‍රඥා‍පාරමිතා සූත්‍රය වැනි සූත්‍රයන්ද සෙන්දහමේ මූලික ඉගැන්වීම් වලට පාදක වී ඇත. තවද තාඕ දහම, හුවායෙන්බුදුදහම වැනි වෙනත් සම්ප්‍රදායන්ගේ ආභාශයද සෙන් දහමට ලැබී ඇත.

බුදුදහමේ මූලික ඉගැන්වීම් වන පටිච්ච සමුප්පාද ධර්මය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය, පංචශීල වැනි ධර්මයන්ද සෙන්දහමේ මූලික ඉගැන්වීම් වේ.

එමෙන්ම බෝධිසත්ව පරමාදර්ශය ඉතා ඉහලින් සෙන් දහම තුල අගය කෙරෙන අතර ගෞතම බුදුරජාණන්වහන්සේට අමතරව අවලෝකිතේෂ්වර, අමිතබ්භ, මංජුශ්‍රී, සමන්තභද්‍ර, වැනි බෝධිසත්ව චරිත වන්දනයට පාත්‍ර වේ.

සෙන් කතා නොහොත් සෙන් කොආන් වලට සෙන් සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි වේ. මෙම සෙන් කතා විවිධ සෙන් ගුරුවරුන් විසින් රචිත ග්‍රන්ථවල සඳහන් වේ. ෂන්සෙකි-ෂූ (ගල් සහ වැලි එකතුව - A Collection of Stones & Sand), වූ-මේ-ගුආන් (ගේට්ටුවක් නැති ගේට්ටුව-The Gateless gate), බියාන්-ලූ (නිල්පැහැ ප්‍රපාතයේ සටහන-The Blue Cliff Record) වැනි ග්‍රන්ථ වල සෙන් කතා විශාල ප්‍රමාණයක් අන්තර්ගත ය.

සෙන් කතා බොහෝමයක් ඉතා කෙටි සහ සරල වචන වලින් යුක්ත වන අතර අභ්‍යන්තරයෙන් ඉතා ගැඹුරු අර්ථයන් ගෙනහැර දක්වයි. යම් යම් සංසිද්ධි පිළිබඳව යථාර්තය දැකීම, තමන් තුල ඇති බුද්ධ-ස්වභාවය තේරුම් ගැනීම, උපහාසය, උපමාවන් මෙන්ම විහිළුද සෙන් තකා තුල අන්තර්ගත වේ.

Sources:

  • http://www.zenguide.com
  • http://www.ashidakim.com
  • http://en.wikipedia.org/wiki/Zen

ගිහින් නිදා ගන්න

මෙන්න තවත් අර්ථවත් සෙන් කතාවක්:

ටේ-සූ-කී නම් තම ගුරුවරයාගේ අභාවයට දින 3 කට පෙර ගා-සාන් ඔහු අසල වාඩි වී සිටියා. ඒ වන විටත් තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ටේ-සූ-කී විසින් ගා-සාන් ව තෝරාගෙන තිබුණා.

ගා-සාන් සිටියේ ටිකදිනකට පෙර ගිනිගෙන විනාශ වූ පන්සල නැවත ගොඩනඟමිනුයි. "පන්සල සාදා නිම වූ පසු ඔබ මොකද කරනනේ?" යැයි ටේ-සූ-කී ඔහුගෙන් ඇසුවා.

"ඔබේ අසනීප තත්වය පහ උනාම ඔබ ලවා එහි දේශනයක් කරවන්නයි හිතාගෙන ඉන්නේ" යැයි ගා-සාන් පැවසුවා.

"මම ඒ වෙනකොට හිටියේ නැත්නං ?"

"එහෙම උනොත් අපි වෙන කෙනෙක් හොයා ගන්නවා..", ගා-සාන් පැවසුවා.

"ඔබට වෙන කෙනෙක් හොයා ගන්න බැරි උනොත්?", ටේ-සූ-කී ඇසුවා.

ගා-සාන් ටිකක් හයියෙන්: "ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා‍! ගිහින් නිදාගන්න"

(සමහර සෙන් කතා මතුපිටින් බැලුවම අභ්‍යන්තර අර්ථය පැහැදිළි නෑ. සෙන් කතා ගැන අපැහැදිලි තැන්, ප්‍රශ්න තියනම් comment එකක් දාන්න. මම පුළුවන් විදියට reply කරන්නම්)

Friday, April 18, 2008

උපමාව

දිනක් වනයක් හරහා යමින් සිටි පුදගලයෙක් වෙත එක්වරම කොටියෙක් කඩා පැන්නා. දුවන්නට පටන්ගත් ඔහු පසුපස කොටියා පනාගෙන ආවා. ප්‍රපාතයක් වෙත ලඟා වූ මිනිසා පහලට එල්ලී තිබූ වැලක එල්ලුනා. දැන් කොටියා ඔහුගේ හිසට ඉහලින් ගොරවමින් සිටින අතර ප්‍රපාතය පහල බැලූ ඔහුට තවත් කොටියෙකු තමා වැටෙන තුරු කැරකෙමින් සිටින බව දුටුවා. ඔහුගේ ඉරණම තිබුනේ එල්ලී සිටි වැලේ පමණයි.
මොහොතකින් ප්‍රපාතයේ ගුලකින් එලියට පැමිණි කලු සහ සුදු පැහැති මීයන් දෙදෙනෙක් ඔහු එල්ලී සිටින වැල හපන්නට පටන් ගත්තා‍. වටපිට බැලූ ඔහුට අතපොවන මානයේ ඇති හොඳින් වැඩුනු පඳුරක රසවත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් පෙනුනා. එක් අතකින් වැලේ එල්ලුනු ඔහු අනෙක් අතින් ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩාගෙන කටේ දාගත්තා. ෂා පුදුම රසයි!

යසරුවන් වෙනුවෙන්