Sunday, June 15, 2008

දිවයින: බුදුන්වහන්සේටත් උඩින් වඩින බව හඟවන විකට භික්ෂු රූප!

පසුගිය ජූනි 6 වෙනිදා මවිසින් ලියූ "බුදුන් වදාල ධර්මය හා බුදුන් නො වදාල ධර්මය..." බ්ලොග් සටහනේ අන්තර්ගතයට සමාන, ඒ මාතෘකාවට අදාල තවත් පැතිකඩ කීපයක් ගැන සාකච්ඡා කරන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමියන්ගේ ලිපියක් අද දිවයින පත්‍රයේ "බුදුන්වහන්සේටත් උඩින් වඩින බව හඟවන විකට භික්ෂු රූප!" මැයින් පලවී තිබුනා.

දිවයින අන්තර්ජාල පිටපතේ ඇති එම ලිපිය කියවන්න


http://www.divaina.com/2008/06/15/feature13.html

Monday, June 9, 2008

මේ අහපල්ලා...

මේ දවස් වල මම ලියන කියන මාතෘකාවකට අදාල දෙයක් මිතුරියකගෙන් ලැබුනා. ඒක අනිත් අයගේ දැනගැනීමටත් එක්ක මෙහි පලකරන එක හොඳයි කියලා හිතුනා. අනගාරික ධර්මපාල තුමා ගැන ගොඩක් අහලා තිබුණත් මෙහෙමත් දෙයක් එතුමා විසින් ප්‍රකාශ කරලා තියනවා කියලා දැනගත්තේ අදයි (දැනුවත් කළ මිතුරියට තුති!). බලන්න ඒ ප්‍රකාශයේ සඳහන් කරුණු එකක් නෑර අද සිදුවෙමින් තියෙන හැටි! පුදුමයි. මෙහෙම පෙරදැක්මක් සහිත නායකයකුගේ මූලිකත්වයෙන් බිහි වූ විසිවන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයට මේ අභාග්‍යය වලක්වාගන්න බැරි උන එක ගැන. එහෙම ‍වුන එකට හේතුවත් ධර්මපාලතුමා මේකේ කියලා තියෙන එක ගැන ඊටත් වඩා පුදුමයි!

විසිවන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයට බැරි උන දේ විසිඑක්වන සියවසේ සිංහල ජාතික ව්‍යාපාරයටවත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.



Friday, June 6, 2008

ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු... දෙරණට ප්‍රණාමය!

මම දෙරණ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටියෙමි. අද දින කටුබැද්දේදී හා පොල්ගොල්ලේදී සිදුවූ බෝම්බ ප්‍රහාර දෙක පිළිබඳව දෙරණ පුවත් වලට පසු "ඩොලර් හමුවේ පමණක් සැලෙන කිඹුල් කඳුළු" යන සිරස්තලය යටතේ දෙරණ ප්‍රවෘති විකාශය ඩොලර් කාක්කන්ට විරුද්ධව ඔවුන් හෙළාදකිමින් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා. ජනමාධ්‍ය ප්‍රසිද්ධියේ මෙලෙස ඩොලර් කාක්කන්ට විරුද්ධව කට ඇරිය යුතුව තිබුණේ මීට බොහෝ කළකට පෙර වුවත් දෙරණ කළ එම ප්‍රකාශය අප ඉහළින්ම අගය කළ යුතුයි.

ත්‍රස්තවාදියෙකු හෝ ත්‍රස්තවාදීන්ට උදව් කරන අයෙකුට පොලිස් අත්තඩංගුවේදී හෝ වෙන ආකාරයක සුළු තරවටුවක් හෝ වන විට බැනර් ඔසවාගෙන, අත්වල කළුපටි බැඳගෙන පාරට බහින ඩොලර් කාක්කන් අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය වෙද්දී මුනිවත රකිමින් සිටීම දෙරණ ප්‍රශ්න කළ අතර, වැරදීමකින් සිංහල නමක් සහිතව ඉපදුන, දෙමළ ජනතාව වෙනුවෙන් තම ජීවිතය වුවත් කැපකරන බවට දිවුරූ වික්‍රමබාහු කරුණාරත්න නම් ඊළාම්වාදියාගේ ප්‍රකාශයකුත්, ඊට පිළිතුරු සපයන එස්.එල්.ගුණසේකර මහතාගේ ප්‍රකාශයකුත් ඉදිරිපත් කළා.

කොටින්ට කඩේ යන ඊළාම්වාදයට උඩගෙඩි දෙන එන්ජීඕ සල්ලි මත යැපෙන ඩොලර් කාක්කන්ට විරුද්ධව ජනමාධ්‍ය හා මහජනතාව මීට බොහෝ කළකට පෙර අත්වැල් බැඳගත්තා නම්, ඔවුන්ගේ වසුරු වලින් අපේ මනරම් දිවයින අපිරිසිදු වීම වළත්වාගත හැකිව තිබුණි. කෙසේ වෙතත් දැන් හෝ එවන් ප්‍රවණතාවයක් ඇතිවීම සතුටට කරුණකි.

බුදුන් වදාල ධර්මය හා බුදුන් නොවදාල ධර්මය...

බොහෝ කලක‍ට පෙර සිට ලියන්නට සිතමින් සිටි මාතෘකාවක් අද සිට කෙටි ලිපි වශයෙන් හෝ ලියන්න සිතුනා. මොකද මේ මාතෘකාව සම්බන්ධව මගේ අදහස ලියා ඒ සම්බන්ධව අනෙක් අයගේ (වැඩිය මුණනොගැසෙන අන්තර්ජාලයේ මිතුරන්ගේ) ප්‍රතිචාරය මොන වගේද කියා දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුන නිසා.

මම මේ කතාකරන මාතෘකාව ටිකක් රැඩිකල් ගණයේ එකක්. මේක ගැන මම විවිධ මට්ටමේ පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති අතර විවිධ ප්‍රතිචාර ඒ සඳහා ලැබුනා. දීර්ඝ විස්තරයට යන්න කලින් වැල්වටාරම් නැතුව කෙටියෙන් කියනවා නම් මම කියන්න යන්නේ "දැනට නා නා විධ විකෘති කිරීම් වලට ලක්ව ඇති බුදුදහම ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතුයි" යන්නයි. (හැබැයි මම මේ කියන්න යන්නේ අර යාපනේ ගිහින් ඊළාම් ජාතික ගීය කියපු සිංහල වල් බූරු මහාචාර්යවරයා පත්තර වල තප්පුලන "ප්‍රොතෙස්තන්ත බුදුදහම" ගැන හෝ එවන් ආකාරයේ විකාරයක් ගැන නෙමෙයි. ආ.. ඒ වගේම "සිංහල බුද්ධාගම" ගැනත් නෙමෙයි.)


මගේ ආගම බුදුදහම බවත්, බුදුරජාණන්වහන්සේ අනුශාසනා කර ඇති ආකාරයට සත්‍ය ගවේශකයෙකු වනවා මිස කිසිම වාදයක, යානයක (හීනයාන-මහායාන), නිකායක, පාර්ශවයක අනුගාමිකයෙකු නොවන බවත් මුලින්ම කිව යුතුයි. එමෙන්ම එසේ නොවනවා කියා මම ඒ කිසිවක් හෙළා දකින්නේ නැති අතර එම විවධ බෙදීම් අතර ඇති බුදුදහමට කිසිඳු හානියක් නොවන, බුදුදහමේ දීප්තිය තවත් වැඩිකරන හොඳ කරුණු අගය කිරීමද කරමි. එමෙන්ම තවත් කිවයුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙම මහායාන-ථේරවාද යන පාර්ශවයන් දෙකම මූලික ඉගැන්වීම් වශයෙන් බුදුදහමේ හරයාත්මක ඉගැන්වීම් ඉහලින්ම පිළිගන්නා අතර ඒ සම්බන්ධව නම් කිසිඳු විකෘති කිරීමක් සිදුවී නොමැති වීම සතුටට කරුණකි.

වර්තමානයේ බුදුදහමේ ඇති විවිධ විකෘතිකිරීම් වලට මූල හේතුව ලෙස මම දකින්නේ බු.ව.250 දී පමණ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ඇතිවූ හීනයාන(ථේරවාද)-මහායාන බෙදීමයි. මෙම බෙදීම නිසා එම දෙපාර්ශවය විසින්ම තම තමන්ගේ මතය සනාථ කිරීමට පසුකාලීනව ගොඩනැගූ විවිධ විකෘතිකිරීම් හා මහායානය විසින් හීනයානයත්, හීනයානය විසින් මහායානයත් හෙළාදැකීමට ගොඩනැගූ කරුණු කාරණා වර්තමානයේ බුදුදහම නම් රන් වියනෙහි ගෑ මැටි තට්ටුවක් මෙන් පෙනෙන්නට තිබේ.

උදාහරණයක් වශයෙන් අප කුඩාකල සිටම පන්සලේ හාමුදුරුවනුත්, වැඩිහිටියනුත්, විවිධ පොත්පත් වලිනුත් ඉතා ඉහළින් වර්ණනා කලේ ථේරවාදය උතුම් බවත්, මහායානය ඉතාමත් පහත් ලෞකිකත්වයට බර වූ දහමක් ලෙසත්ය. එමෙන්ම දැනගන්නට ලැබුණු පරිදි මහායානිකයින්ටද, ථේරවාදීන් පිළිබඳව මෙවන්ම (හෙළාදැකීමේ) අර්ථකතනයක් ඇත. එනම්, ථේරවාදීන් යනු ඉතා ආත්මාර්ථකාමී, ස්වයංවිමුක්තිය පමණක් පතන පිරිසක් බවයි.

මෙසේ මෙම යාන දෙකෙහිම එකක් අනෙකට එරෙහිව යෑමේ හා තනිවම ගොඩනැගීමේ ප්‍රතිපත්ති නිසා බුදුදහමට ඉතා විශාල ප්‍රමාණයකින් අනවශ්‍ය මතාවාදමය, සංකල්පමය, තර්කවිතර්ක හා සංස්කෘතිකමය කරුණු එකතු වී ඇත. නමුත් දාර්ශනික වශයෙන් නම් මෙම දෙපාර්ශවයම තම තමන්ට ආවේණික ගුරුකුලයන් ගොඩනඟාගෙන තිබීම නම් බුදුදහමේ ව්‍යාප්තියට මහත් සේ උපකාරී වී ඇති බව පෙනේ.

මීළඟට බුදුදහමේ මූලික ඉගැන්වීම් කිහිපයක් වන "සමගිය", "එකමුතුබව", හා "සමානාත්මතාවය" යන කරුණුද මෙම භේදයන් නිසා යටපත්වී තිබේ. විශේෂයෙන්ම ලංකාවේදී තදින් ක්‍රයාත්මක වන "නිකාය" භේදය කිසිම සාධාරණ පදනමක් නැතිව බුදුදහමේ "සමඟිය" හා "සමානාත්මතාවය" යන කරුණු උල්ලංඝනය කර ඇත. ඇත්ත වශයෙන්ම ලංකාවේ නිකාය භේදය පිළිබඳව කල්පනාකිරීමේදී එය ඇතිවී ඇත්තේ සාපේක්ෂව ඉතාම බොලඳ හා විහිළුසහගත කරුණු කීපයක් මුල්කරගෙනය. එමෙන්ම එකිනෙක නිකායන විසින් තම තමන්ගේ නිකාය උසස් හා බුදුරජාණන්වහන්සේගේ වංශයට සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහයන් ඉතා හාස්‍යජනකය.

ලංකාවේ නිකාය වලට නම් වැටී ඇත්තේ එම නිකායන්ට උපසම්පදාව රැගෙන ආ රට අනුවය. සියම් රටෙන් (තායිලන්තයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "සියම් නිකාය" ලෙසත්, රාමඤ්ඤ දේශයෙන් (බුරුමයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "රාමඤ්ඤ නිකාය" ලෙසත්, අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙනා නිකාය "අමරපුර නිකාය" ලෙසත් නම්කරගෙන ඇත. එසේ ගෙනා තම තමන්ගේ සම්ප්‍රදායන්ට පසුව කුලවාදයද ඈඳාගෙන ඇත. ලංකාව තුල බුදුදහම වර්තමානයේ යම් පිරිහීමකට, තර්ජනයකට ලක්වී ඇත්නම් එයට මූලික හේතුව ලෙස මා දකින්නේ මෙම අමනෝඤ්ඤ නිකාය භේදයයි.

එමෙන්ම දැන් දැන් විවිධ කරුණු පාදක කරගනිමින් අලුත් නිකායන් හා බෙදීම්ද ලංකාව තුල ඇතිවෙමින් පවතී. (ඒ පිළිබඳව මෙහි අදහස් දැක්වීමට නොයමි).

බුදුරජාණන්වහන්සේ මෙලෙස තමන්වහන්සේගේ ශ්‍රාවකයින් බෙදී වෙන්වී යනු ඇතැයි කිසිසේත් සිතන්නට නැත. උන්වහන්සේගේ දේශනාවන් හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ උන්වහන්සේගේ පරම පවිත්‍ර චේතනාව මිනිසුන්ට දුකින් මිදීමේ මාර්ගය පෙන්වාදීම බවයි.

නමුත් දැන් ඒ දුකින් මිදීමේ මාර්ගය කටුපඳුරු, බාධක වලින් වැසී ඇත! බුදුරජාණන්වහන්සේ විසින් නොවදාල ධර්මයක් විසින් උන්වහන්සේ වදාල ධර්මය වැසී ඇත! එම මාර්ගය හෙලිපෙහෙලි කල යුතු කාලය එළඹ ඇත, බුදුරජාණන්වහන්සේ වදාල ධර්මය මතුකළ යුතුව ඇත.

(මේ සම්බන්ධව ඔබ දරණ මතයත් කෙටියෙන් හෝ comment එකක් ලෙස ලියා තබනවා නම් සතුටුයි.)

Thursday, June 5, 2008

සිංහල ගිනි නරියා දැන් එලියේ...!

ගොඩ දවසකින් බ්ලොග් සටහනක් ලියන්න බැරි උනත් අද නම් නොලියම බැරි දවසක්. සාමාන්‍යයෙන් මම සිංහල ජාතිකවාදය ගැන මේ බ්ලොග් එකේ ලිව්වත් අද ලියන්න යන්නේ තාක්ෂණික කාරණාවක් ගැන. (එහෙම කිව්වට මේකත් සිංහල ජාතිකවාදයට වක්‍රාකාරයෙන් සම්බන්ධතාවයකුත් තියෙනවා. සිංහල ජාතිකවාදයේ තාක්ෂණික ප්‍රවණතාවයක් විදියට)

අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් වැඩකිරීම තවත් පහසු කිරීමට ඔන්න දැන් අපේ "ගිනි නරියා" (firefox) වෙබ් බ්‍රවුසරය දැන් සම්පූර්ණ සිංහලෙන් නිකුත් වී තිබෙනවා. "ගිනි නරියා" වගේ ජනප්‍රිය වෙබ් බ්‍රවුසරයක් සම්පූර්ණයෙන් සිංහලෙන් නිකුත්වීම සම්බන්ධව මට අද ලොකු සතුටක් ඇතිවුනා.

මේ දැවැන්ත කාර්යභාරය කරටගෙන දිවා රෑ නොබලා වැඩකර සිංහල ෆයර්ෆොක්ස් නිකුත් කිරීමට ක්‍රියාකළ සියළුදෙනාට මගේ ප්‍රණාමය!

සිංහල ගිනි නරියා බාගත කරගන්න: http://www.mozilla.com/en-US/firefox/all-rc.html