Friday, June 6, 2008

බුදුන් වදාල ධර්මය හා බුදුන් නොවදාල ධර්මය...

බොහෝ කලක‍ට පෙර සිට ලියන්නට සිතමින් සිටි මාතෘකාවක් අද සිට කෙටි ලිපි වශයෙන් හෝ ලියන්න සිතුනා. මොකද මේ මාතෘකාව සම්බන්ධව මගේ අදහස ලියා ඒ සම්බන්ධව අනෙක් අයගේ (වැඩිය මුණනොගැසෙන අන්තර්ජාලයේ මිතුරන්ගේ) ප්‍රතිචාරය මොන වගේද කියා දැන ගැනීමට අවශ්‍යතාවයක් ඇතිවුන නිසා.

මම මේ කතාකරන මාතෘකාව ටිකක් රැඩිකල් ගණයේ එකක්. මේක ගැන මම විවිධ මට්ටමේ පුද්ගලයින් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති අතර විවිධ ප්‍රතිචාර ඒ සඳහා ලැබුනා. දීර්ඝ විස්තරයට යන්න කලින් වැල්වටාරම් නැතුව කෙටියෙන් කියනවා නම් මම කියන්න යන්නේ "දැනට නා නා විධ විකෘති කිරීම් වලට ලක්ව ඇති බුදුදහම ප්‍රතිසංස්කරණයකට ලක් විය යුතුයි" යන්නයි. (හැබැයි මම මේ කියන්න යන්නේ අර යාපනේ ගිහින් ඊළාම් ජාතික ගීය කියපු සිංහල වල් බූරු මහාචාර්යවරයා පත්තර වල තප්පුලන "ප්‍රොතෙස්තන්ත බුදුදහම" ගැන හෝ එවන් ආකාරයේ විකාරයක් ගැන නෙමෙයි. ආ.. ඒ වගේම "සිංහල බුද්ධාගම" ගැනත් නෙමෙයි.)


මගේ ආගම බුදුදහම බවත්, බුදුරජාණන්වහන්සේ අනුශාසනා කර ඇති ආකාරයට සත්‍ය ගවේශකයෙකු වනවා මිස කිසිම වාදයක, යානයක (හීනයාන-මහායාන), නිකායක, පාර්ශවයක අනුගාමිකයෙකු නොවන බවත් මුලින්ම කිව යුතුයි. එමෙන්ම එසේ නොවනවා කියා මම ඒ කිසිවක් හෙළා දකින්නේ නැති අතර එම විවධ බෙදීම් අතර ඇති බුදුදහමට කිසිඳු හානියක් නොවන, බුදුදහමේ දීප්තිය තවත් වැඩිකරන හොඳ කරුණු අගය කිරීමද කරමි. එමෙන්ම තවත් කිවයුතු වැදගත් කරුණක් ඇත. එනම් මෙම මහායාන-ථේරවාද යන පාර්ශවයන් දෙකම මූලික ඉගැන්වීම් වශයෙන් බුදුදහමේ හරයාත්මක ඉගැන්වීම් ඉහලින්ම පිළිගන්නා අතර ඒ සම්බන්ධව නම් කිසිඳු විකෘති කිරීමක් සිදුවී නොමැති වීම සතුටට කරුණකි.

වර්තමානයේ බුදුදහමේ ඇති විවිධ විකෘතිකිරීම් වලට මූල හේතුව ලෙස මම දකින්නේ බු.ව.250 දී පමණ තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ඇතිවූ හීනයාන(ථේරවාද)-මහායාන බෙදීමයි. මෙම බෙදීම නිසා එම දෙපාර්ශවය විසින්ම තම තමන්ගේ මතය සනාථ කිරීමට පසුකාලීනව ගොඩනැගූ විවිධ විකෘතිකිරීම් හා මහායානය විසින් හීනයානයත්, හීනයානය විසින් මහායානයත් හෙළාදැකීමට ගොඩනැගූ කරුණු කාරණා වර්තමානයේ බුදුදහම නම් රන් වියනෙහි ගෑ මැටි තට්ටුවක් මෙන් පෙනෙන්නට තිබේ.

උදාහරණයක් වශයෙන් අප කුඩාකල සිටම පන්සලේ හාමුදුරුවනුත්, වැඩිහිටියනුත්, විවිධ පොත්පත් වලිනුත් ඉතා ඉහළින් වර්ණනා කලේ ථේරවාදය උතුම් බවත්, මහායානය ඉතාමත් පහත් ලෞකිකත්වයට බර වූ දහමක් ලෙසත්ය. එමෙන්ම දැනගන්නට ලැබුණු පරිදි මහායානිකයින්ටද, ථේරවාදීන් පිළිබඳව මෙවන්ම (හෙළාදැකීමේ) අර්ථකතනයක් ඇත. එනම්, ථේරවාදීන් යනු ඉතා ආත්මාර්ථකාමී, ස්වයංවිමුක්තිය පමණක් පතන පිරිසක් බවයි.

මෙසේ මෙම යාන දෙකෙහිම එකක් අනෙකට එරෙහිව යෑමේ හා තනිවම ගොඩනැගීමේ ප්‍රතිපත්ති නිසා බුදුදහමට ඉතා විශාල ප්‍රමාණයකින් අනවශ්‍ය මතාවාදමය, සංකල්පමය, තර්කවිතර්ක හා සංස්කෘතිකමය කරුණු එකතු වී ඇත. නමුත් දාර්ශනික වශයෙන් නම් මෙම දෙපාර්ශවයම තම තමන්ට ආවේණික ගුරුකුලයන් ගොඩනඟාගෙන තිබීම නම් බුදුදහමේ ව්‍යාප්තියට මහත් සේ උපකාරී වී ඇති බව පෙනේ.

මීළඟට බුදුදහමේ මූලික ඉගැන්වීම් කිහිපයක් වන "සමගිය", "එකමුතුබව", හා "සමානාත්මතාවය" යන කරුණුද මෙම භේදයන් නිසා යටපත්වී තිබේ. විශේෂයෙන්ම ලංකාවේදී තදින් ක්‍රයාත්මක වන "නිකාය" භේදය කිසිම සාධාරණ පදනමක් නැතිව බුදුදහමේ "සමඟිය" හා "සමානාත්මතාවය" යන කරුණු උල්ලංඝනය කර ඇත. ඇත්ත වශයෙන්ම ලංකාවේ නිකාය භේදය පිළිබඳව කල්පනාකිරීමේදී එය ඇතිවී ඇත්තේ සාපේක්ෂව ඉතාම බොලඳ හා විහිළුසහගත කරුණු කීපයක් මුල්කරගෙනය. එමෙන්ම එකිනෙක නිකායන විසින් තම තමන්ගේ නිකාය උසස් හා බුදුරජාණන්වහන්සේගේ වංශයට සම්බන්ධ යැයි ප්‍රකාශ කිරීමට ගන්නා උත්සාහයන් ඉතා හාස්‍යජනකය.

ලංකාවේ නිකාය වලට නම් වැටී ඇත්තේ එම නිකායන්ට උපසම්පදාව රැගෙන ආ රට අනුවය. සියම් රටෙන් (තායිලන්තයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "සියම් නිකාය" ලෙසත්, රාමඤ්ඤ දේශයෙන් (බුරුමයෙන්) උපසම්පදාව ගෙනා නිකාය "රාමඤ්ඤ නිකාය" ලෙසත්, අමරපුර දේශයෙන් උපසම්පදාව ගෙනා නිකාය "අමරපුර නිකාය" ලෙසත් නම්කරගෙන ඇත. එසේ ගෙනා තම තමන්ගේ සම්ප්‍රදායන්ට පසුව කුලවාදයද ඈඳාගෙන ඇත. ලංකාව තුල බුදුදහම වර්තමානයේ යම් පිරිහීමකට, තර්ජනයකට ලක්වී ඇත්නම් එයට මූලික හේතුව ලෙස මා දකින්නේ මෙම අමනෝඤ්ඤ නිකාය භේදයයි.

එමෙන්ම දැන් දැන් විවිධ කරුණු පාදක කරගනිමින් අලුත් නිකායන් හා බෙදීම්ද ලංකාව තුල ඇතිවෙමින් පවතී. (ඒ පිළිබඳව මෙහි අදහස් දැක්වීමට නොයමි).

බුදුරජාණන්වහන්සේ මෙලෙස තමන්වහන්සේගේ ශ්‍රාවකයින් බෙදී වෙන්වී යනු ඇතැයි කිසිසේත් සිතන්නට නැත. උන්වහන්සේගේ දේශනාවන් හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ උන්වහන්සේගේ පරම පවිත්‍ර චේතනාව මිනිසුන්ට දුකින් මිදීමේ මාර්ගය පෙන්වාදීම බවයි.

නමුත් දැන් ඒ දුකින් මිදීමේ මාර්ගය කටුපඳුරු, බාධක වලින් වැසී ඇත! බුදුරජාණන්වහන්සේ විසින් නොවදාල ධර්මයක් විසින් උන්වහන්සේ වදාල ධර්මය වැසී ඇත! එම මාර්ගය හෙලිපෙහෙලි කල යුතු කාලය එළඹ ඇත, බුදුරජාණන්වහන්සේ වදාල ධර්මය මතුකළ යුතුව ඇත.

(මේ සම්බන්ධව ඔබ දරණ මතයත් කෙටියෙන් හෝ comment එකක් ලෙස ලියා තබනවා නම් සතුටුයි.)