ICTA ආයතනය "සිංහල බ්ලොග් ප්‍රජාව විසින් සිංහල ෆයර්ෆොක්ස් හඳුන්වාදීමේ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව සාවද්‍ය මතයක් නිර්මාණය කර ඇත" යි කියමින් පසුගිය දින මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සුදාරකගේ බ්ලොග් අඩවිය ඔස්සේ දැනගත්තා. පුදුමේ කියන්නේ ICTA එකේ වෙබ් අඩවියේවත් නෑ (ජූලි 21 දින හවස 4ට පමණ බලන විට). හැබැයි තියෙන්නේ ICTA වෙබ් අඩවිය තුලම තමයි (http://icta.lk/Insidepages/downloadDocs/Press_release_on_FF_3_2008-07-18.pdf) . ඒ ඇරෙන්න එම ප්‍රකාශය ICTA ආයතනයේ නිල ප්‍රකාශයක් කියලා සනාථ කරගන්න කිසිම සාධකයක් නෑ. ලිපි ශීර්ෂයක්, නිකුත්කළ කෙනාගේ නමක්, තනතුරක්, මුද්‍රාවක්, මාතෘකාවක් තියා නිකුත් කළ දිනයවත් ඒ තුල නෑ.
එමෙන්ම ඉංග්‍රීසි සහ සිංහල පිටපත් දෙකකින් නිකුත් කර ඇති එම මාධ්‍ය ප්‍රකාශයේ එක පිටපතක ඇති කරුණු අනෙක් පිටපතේ නැත. (ඉංග්‍රීසි පිටපතින් සාවද්‍ය මතයක් නිර්මාණය කර ඇති බවට සිංහල බ්ලොග් ප්‍රජාවට චෝදනා කර ඇති අතර සිංහල පිටපතේ එවන් දෙයක් නැත.)
එම පුකාශයේ කියල තියෙන විදියට දැන් සිංහල බ්ලොග් ප්‍රජාවේ තමයි වැරැද්ද! සිංහල බ්ලොග්කරුවන් තමයි දැං සිංහල ෆයර්ෆොක්ස් මාධ්‍ය සාකච්ඡාව ගැන සාවද්‍ය ප්‍රකාශ කරන්නේ! එතකොට අර ස්වර්ණවාහිණියේ සහ colombopage වේබ අඩවියේ වගේ මාධ්‍ය වල ගිය ප්‍රකාශ සාවද්‍ය නෑ! ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් "හොට් හොට් බඩු", "අපේ මැජික්" යැයි කියමින් සීඩී තැටියක් පෙන්වමින් කළ ප්‍රකාශය ඇත්ත! සිංහල බ්ලොග් 300ක් පමණ තියන බවට වූ ප්‍රකාශය ඇත්ත! ඇපල් පරිගණකවල සිංහල සහය ඇති බව කීම ඇත්ත! ඒ කියන්නේ ඒ ප්‍රකාශ වල කිසිම වැරැද්දක් නැහැ. එහෙම බලපුවාම සිංහල ෆයර්ෆොක්ස් කියන්නේ ICTA නිෂ්පාදනයක්! හරි දැන් මින් ඉදිරියට අපි Mozilla Firefox කියන්නේ නැතුව ICTA Firefox කියලා කියමු! (අඩුමගානේ ICTA ආයතනය Firefox යනු Mozilla ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් කියලවත් කියන්න තරම් නිහතමානී වෙලා නෑ)
මෙම නව මාධ්‍ය ප්‍රකාශයෙන් ICTA ආයතනය කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියලා හරියටම තේරෙන්නේ නැති උනත්, ඔවුන් ප්‍රකාශ කරන්න හදන්නේ "මාධ්‍ය සාකච්ඡාව සමිබන්ධයෙන් සිංහල බ්ලොග්කරුවන් විසින් කරන ලද ප්‍රකාශ සාවද්‍ය වන අතර එම මාධ්‍ය සාකච්ඡාවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ආචාර්ය ශහනී වීරවරණ මහත්මිය, ඩනිෂ්ක නවීන් මහතා සහ අතුල පුෂ්පකුමාර මහතාගේ පූර්ව එකඟතාවයක් තිබූ බව" යි.
නමුත් බොහෝ සිංහල බ්ලොග්කරුවන්ගේ විරෝධයට ලක් වූයේ එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වූ අසත්‍ය ප්‍රකාශ කිහිපයක් සහ ෆයර්ෆොක්ස් සිංහලට හරවන්න වෙහෙස මහන්සි වූ පුද්ගලයින්ගේ නමක්වත් සඳහන් නොකර වෙන වෙන පුද්ගලයින් එය තමන්ගේ වැඩක් බව ඇඟවීමට ගත් උත්හාසය බව ඒ පිළිබඳව ලියැවුනු බ්ලොග් සටහන් කියවීමෙන් තේරුම්ගත හැක.
මේ ඉන් කිහිපයක්:
- Firefox සිංහල කලේ කවුද - මලින්ත සමරකෝන්ගේ සටහනක්
- සිංහල Firefox 3 මාධ්‍ය හමුව - කාලිංග ඇතුලත්මුදලිගේ සටහනක්
- Sinhala Firefox 3 Success Story - චාමර පීරිස්ගේ සටහනක්
- Fire Fox 3 Sinhala Press Release සිංහල ගිනි නරියා 3 මාධ්‍ය හමුව - හර්ෂණ වීරසිංහගේ සටහන
- නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙන හැටි හෙවත් සිංහල Firefox ගැන අපේ රටේ ජනමාධ්‍ය වාර්තා කල අන්දම දෝ නොහොත් මාධ්‍ය ලවා වාර්තා කරවූ අන්දම - වෙබ්අලෝචනා සටහන
- අහෝ ICTA! (ලැජ්ජාවේ බෑ!) - සුදාරකගේ අන්තර්ජාල සටහන
අවසන් වශයෙන් ICTA ආයතනයෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි.
සිංහල බ්ලොග් ප්‍රජාව විසින් ඔබ ආයතනයේ වැරැද්දි විවේචනය කර ඇත්තේ ඔවුනට ඔබ ආයතනය සමඟ ඇති තරහක් නිසා නොවේ. යම්කිසිවෙකු විසින් වැරැද්දක් පෙන්වාදුන් පසු එයට විවෘත මනසකින් සවන්දී වැරදි නිවැරදි කරගැනීමට නිහතමානී වන්න. තමන්ගේ වැරදි වසාගැනීමට "අතීසාරයට අමුඩගසන්නා වැනි" මාධ්‍ය ප්‍රකාශ කිරීමෙන් ඔබ ආයතනයටත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් කිසිඳු සෙතක් වන්නේ නැත. අනුන්ගේ ඇහේ ඉරට්ට දකින්නට පෙර තමන්ගේ ඇහේ පොල්පරාලය ගැන අවධානය යොමු කරන්න.
ප.ලි.
මෙමගින් ICTA ආයතනයේ ක්‍රියාපිළිවෙත් මිස එම ආයතනයේ සේවය කරන අවංක නිලධාරීන්ව විවේචනය කිරීමට අදහස් කළේ නැත.






