මෙයිජී යුගයේ (1868-1912) ජීවත් වූ ප්‍රකට ජපන් සෙන් ඇදුරෙකු වූ නැන්-ඉන් හමුවී සෙන් දහම ගැන විමසීමට දිනක් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු පැමිණියා.
චාරිත්‍රානුකූලව අමුත්තාට තේ පැන් පිළිගැන්වීමට නැන්-ඉන් නිහඬව සූදානම් වෙද්දී මහාචාර්යවරයා සෙන් ගැන කතා කරන්නට පටන් ගත්තා. අමුත්තාගේ කෝප්පයට තේ වත්කල නැන්-ඉන් කෝප්පයේ ගැට්ටටම තේ පිරුණු පසුත් දිගටම තේපැන් වත්කලා.
තේ පැන් වලින් පිරී ඉතිරී යන කෝප්පය දෙස නොඉවසිලිමත්ව බලා සිටි මහාචාර්යවරයා බැරිමතැන "ඇදුරුතුමනි, කෝප්පය පිරී ඉතිරී යනවා. තවත් තේ වත්කලාට කෝප්පය ඇතුලට යන්නේ නැහැ" යැයි පැවසුවා.
නැන්-ඉන්, "මහාචාර්යතුමනි, මේ කෝප්පය වගේ ඔබේ හිසත් ඔබගේම නිගමන හා සංකල්පනාවන්ගෙන් පිරී ඉතිරී ගිහින්. පළමුව ඔබ ඔබේ කෝප්පය හිස් කරගන්නේ නැතිව මම කොහොමද ඔබට සෙන් ගැන කියා දෙන්නේ?" යැයි පැවසුවා.
Monday, November 19, 2007
සෙන් කතා: තේ කෝප්පය
Thursday, November 15, 2007
අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය
ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...
තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.
රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.
කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?
මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.
මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් ද, මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.
එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.
තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.
ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)
එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.
සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.
Monday, November 12, 2007
පරණ විනෝදාංශය අළුත් තාක්ෂණයත් එක්ක...
මම මගේ පරණ ප්‍රියතම විනෝදාංශයක් වුන 'චිත්‍ර ඇඳීම' ආයෙත් අළුත් විදියකට පටන් ගත්තා... මම හොය හොය හිටපු චිත්‍ර ඇඳීමේ මෘදුකාංගයක් (නම ArtRage) ඊයෙ පෙරේදා හම්බඋනා... ඒකෙන් දැනට චිත්‍ර 3-4 ක් ඇන්දා.... මවුස් එකෙන් අඳින එක මුලදි ටිකක් අමාරු උනාට පස්සෙ හුරු උනා...
මේ ඉස්ඉස්සෙලම ඇන්ද චිත්‍ර වලින් එකක්.... (ඇන්දෙ tracing එකක උදව්වෙන්.... )
Friday, August 17, 2007
විජිතපුර දකුණු දොරටුවෙහි බිහිසුණු සටන
විජිතපුර සටන අලුත්නුවර මංජු ශී‍්‍ර ගේ චිත‍්‍රයකි |
සිළුම්ණ පුවත්පතින් උපුටා ගන්නා ලදි.
මහවැලි ගං ඉවුරේ සිදුවූ සටන්වලින් හා ගල්කුලමේ දී වූ පරාජයෙන් පසු නොමැරී බේරුණු සොළී බළසෙන් ඔවුන් ගේ මහා බලකොටුව වන විජිතපුර බලකොටුවට වැදුණ හ. සෙනෙවියන් කී බස් අසා රජතුමා සේනා සංවිධානය පිණිස සැප පහසු ඇති සමතල භූමි භාගයක කඳවුරු පිහිටුවා ගත්තේ ය.
ඒ ස්ථානය පසු කලෙක 'කඳවුරුපිටිය' නමින් ප‍්‍රසිද්ධ විය. මෙහි දී එළාර සමඟ කළ යුතු මහ යුදයේ දී යෝධයන් සෝදිසි කරන්නට ඉටා ගත් රජු යෝධයන් ගේත් යෝධයා ලෙස සැලැකුණු නන්දිමිත‍්‍ර හා සටනට කඩොලැතු මෙහෙයැවූයේ විස්ම උපදවන මහ හටනක් බලාපොරොත්තුවෙනි.
මහ හඬක් නැඟූ කඩොලැතු දෙපයින් අළු දූලි නඟමින් ඉදිරියට දිව ආවේ නන්දිමිත‍්‍ර අල්ලා පොළොවේ ගසන්නට ය. එහෙත් නන්දිමිත‍්‍ර හිටිවන ම නැවැතී තමා හා පොරයට එන කඩොලැතු දෙස බලා සිනහවකින් සරදම් කෙළේ ය.
මහත් අභිමානයෙන් යුතු කඩොලැතු කෝපාවිෂ්ඨ ව ගර්ජනාවක් කැර නන්දිමිත‍්‍ර වෙත පැන්නේ ය. මහා බළසේනාවෝ මේ දැවැන්තයන් ගේ සටන බැලීමට රොද බැඳී සිටිය හ. සෙනඟ වෙතින් නැගුණු කාහල නදින් ද ඇතු තවත් ආඩම්බර විය.
තමා වෙත පනින කඩොලැතා ගේ දෙදළින් අල්ලා ගත් නන්දිමිත‍්‍ර ඊළඟ ක්‍ෂණයේ ඇතු උක්කුටික ව බිම හිඳ වූයේ තමා සතු ඇතුන් දස දෙනකු ගේ ශක්තිය මොනවට විදහා පාමිනි. ඇතා ගේ බල තෙද ක්‍ෂය වී ඌ නන්දිමිත‍්‍රට කීකරු වූයේ සිය ශක්තියට වඩා නන්දිමිත‍්‍ර ගේ ශක්තිය තේරුම් ගත්තාක් මෙනි. මෙසේ ඇතු හා නන්දිමිත‍්‍ර පොර වැදුණු ඒ ස්ථානය 'හත්ථිපොර' නමින් ප‍්‍රසිද්ධ විය.
රජතුමා පී‍්‍රතියෙන් උදම් වී විජිතපුරය අල්ලා ගනු පිණිස මහ හටනට පිටත් විය.
එළාර රජු ගේ ඒ මහා බලකොටුව විජිතපුරය අගල් තුනකින් වට වූ ද, මහා ප‍්‍රාකාරයකින් ආවරණය වූ ද එකකි. එහි ද්වාර සියල්ල ලෝහයෙන් කරන ලද්දේ ය. සතුරකු විසින් අල්ලා ගනු තබා සිතන්නටවත් බැරි තරමට ආරක්ෂා සහිත ව පිළියෙළ කැරුණු මේ බලකොටුවෙහි එළාර රජු ගේ මහා සේනාව සන්නාහ සන්නද්ධ ව යුදයට සැරැසී සිටිය හ.
විජිත පුර දකුණු දොරටුවෙහි දී බිහිසුණු සටන් ඇති විය. ගැමුණු රජතුමා ගේ යෝධ පිරිස මෙහි දී කෙළේ අති භයානක සටනකි. මෙහි දී හැම දා සටනට ප‍්‍රසිද්ධ වේළුසුමන අසු පිට නැඟී නැඟෙනහිර දොරටුවෙහි යුද වැදී, අහස් කරණම් ගසමින්, නැවත අසු පිට වැටෙමින් බොහෝ සොළීන් මැරී ය.
එයින් භීතියට පත් ඔව්හු ඇතුළු නුවරට වැද එහි දොර වැසූ හ. ඉක්බිති ගැමුණු රජ යුද කරනු සඳහා වෙනත් දොරටු කරා යෝධයන් මෙහෙයැවී ය. කඩොලැතු හා නන්දිමිතය, සුරනිමල යන යෝධයෝ දකුණු දොරටුවෙහි යුද කළ හ.
එනුවර දිය අගල් තුනකින් හා උස් වූ ප‍්‍රාකාරයකින් වට කරන ලද්දේ වී යැයි මම ඔබට පෙරදී ද කීවෙමි. ඒ කඩොලැතු දෙදණින් හිඳ ගල්සූරා ගඩොල් ඉවත් කැර යකඩ දොරටුව වෙත පිය මැන්නේ ය.
ඇතු දැන් යකඩ ද්වාරය බිඳ දමතැ යි බිය ගත් සොළියෝ බිහිද්වාරයන්හි ඉහළින් සිට රත් කළ යවට ද, කකියවන ලද ඉටි ද ඇතු පිටට දැමූ හ. රත් කළ ඉටි පිට මත වැටුණු කඩොලැතු වේදනාවෙන් මිරිකී මිරිකී දියත්තක් සොයා හඬ නඟමින් දිව ගියේ ය.
ඈත තිබූ මඩ වළක එරුණු කඩොලැතු ගේ පීඩාව දුටු රජ ඇත් වෙදුන් ගෙන්වා ශරීරය මත ලහටු ගල්වා ප‍්‍රතිකාර කෙළේ ය. ඉනික්බිති ගැමුණු රජතුමා ඉතා ආදරයෙන් තමා දරුවකු ලෙස සලකන මේ සතාට කතා කෙළේ ය. කුමරා කඩොලැතු ගේ කුම්භස්ථලය පිරිමැද,
"පුත මේ සටන සිංහල රාජ්‍යයේ විමුක්තිය සඳහා ය. ශාසනයේ ආරක්‍ෂාව සඳහා ය. දිරි ගනුව. නැඟිට ගොස් පහර දෙව" යි කීයේ ය. ඇතු ධෛර්යය උපදවා දියෙන් නැඟුණේ විදුලි වේගයෙනි.
තවත් තැනෙක ඇතු මෙහෙයැවූයේ මෙලෙස යැයි කියා තිබේ. "සතුටු වදන් කියා, මිහිරි ආහාර දී, සළුවෙන් වෙළා, ඇතු පිට සන්නාහ ලවා, ඒ මත සත් ගුණයක් වනසේ එක පිට එක තබා සකස් කරන ලද මී හරක් සම් යොදවා, ඒ මත තෙල් සම් යොදා, ඇතු සටනට මෙහෙයැවී ය." යනුවෙනි.
කඩොලැතු පිටට සොළීන් විසින් රත් කළ ඉටි වත්කළැයි සැලකෙන බලකොටුව පිහිටි ස්ථානය. |
එවර ඇතු හෙණ හඬක් මෙන් ගර්ජනා කරමින්, සියලු බාධක ඉවසමින් දොරගුලු සහිත ඒ යදොර වෙත පැමිණ ඊට පයින් ඇන්නේ ය. යදොර මහ හඬ නඟමින් බිම පතිත විය. යදොර ඉහළ තොරණෙහි වූ අබලි ද්‍රව්‍ය ඇතුපිට වැටෙන බව එතැන සටනේ යෙදී සිටි නන්දිමිත‍්‍ර යෝධයා දිටී ය. ඔහු ඉහළට පැන බාහුවෙන් ගසා ඒවා වෙනත් තැනෙක වැටෙන පරිදි පෙරළා දැම්මේ ය.
පළමු අවස්ථාවක ද තමා උක්කුටිකයෙන් හිඳුවීම පිළිබඳ කඩොලැතු සිතේ පහළ වූ වෛරය මේ අවස්ථාවේ දී පහ වී ගියේ ය. ඌ කවරදා හෝ නන්දිමිත‍්‍ර මරා දමන්නට එතෙක් හක්කේ සඟවා සිටි පොර පොල් ගෙඩිය සොඬයෙන් ඇද බිම දැම්මේ කෘතගුණ දැක්වීමේ විලාස පාමිනි.
කඩොලැතු බිඳ දැමූ ද්වාරයෙන් ඇතුළුවන්නට නො කැමැති නන්දිමිත‍්‍ර, සුරනිමල, ගෝඨයිම්බර ආදී යෝධයෝ ඒ ඒ තැනින් අටළොස් රියන් ප‍්‍රාකාරය බිඳ නුවරට ඇතුළු වූහ. එහි දී කඩොලැතු රථ රෝදයක් ගෙන දුවන සොළීන් පොදි පිටින් තළා දැම්මේ ය.
නන්දිමිත‍්‍ර ගැල් තට්ටුවක් ගත්තේ ය. නන්දිමිත‍්‍රගේ ප‍්‍රහාරය තව තවත් දැඩි විය. ගෝඨයිම්බර පොල් ගසක් ගලවා ඒ කඳින් පහර දිදී සොළීන් මරන්නට විය. සුරනිමල කඩුවක් ගෙන පහර දුන්නේ ය.
මහා සෝණ තල්කඳක් ගෙන සොළීන් එළවා පහර දුන්නේ ය. ථෙරපුත්තාභය මහත් වූ යකඩ පොල්ලක් ද ගෙන වෙන් වෙන් ව වීථියට බැස ප‍්‍රතිවාදීන් සුනු විසුනු කෙළේ ය.
ගැමුණු රජුගේ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි ව එළාර ගේ විසි මහා යෝධයෝ හා සේනාව අන්දුන් කුන්දුන් වූහ. ඔව්හු මඟ දිගට දුවමින් අනුරාධපුරය පැත්තට පලා ගිය හ. එළාර රජු පළා යන මඟ ලුහුබැඳ යන වේළුසුමන හා සුරනිමල යෝධයනට කුමරා මෙසේ කී ය. "ඒ රජු මරා දැමිය යුත්තේ මා පමණය. එනිසා ලුහුබැඳ නොයා යුතු ය."
දුටුගැමුණු රජු තමා ලුහුබැඳ අනුරාධපුරයට ද එන බැව් ඇසූ පලා ගිය එළාර රජ එක් තොටක් අසළ ඇමැතියන් රැස් කෙළේ ය. ගැමුණු රජ විජිතපුර බලකොටුව බිඳ ලූ පී‍්‍රතියෙන් නැවතත් කඳවුරුපිටියේ පී‍්‍රතිඝෝෂා පැවැත්වී ය.
එළාර රජ ඇමතියන් රැස් කරවා මෙසේ කී ය. "ඇමතියනි, දැන් අප කුමක් කළ යුතු ද? අප ගේ ඇමැතියෝ කුමක් සිතත් ද? ඒ දුටුගැමුණු රජ තෙමේත් යෝධයෙකි. ඔහුගේ යෝධ පිරිසත් බොහෝ වෙති.
අවුරුදු 44 ක් මෙහි රජ කළත් විජිතපුරය මේ සා පරාජයකට මුහුණදී නැත. එය අසා සිටි එළාර රජුගේ බලවත්ම දීඝජන්තු ආදී වූ යෝධයෝ "සේනාව අප වට කෙළේ අපේ අසංවිධානාත්මක භාවය නිසා යැයි ද, ගැමුණු මනා සංවිධනාත්මක සටනක් කළ බව ද, එහෙත් අපි හෙට සටන් කරම්හ" යි ද කී හ.
මේ අතර දුටුගැමුණු නරනිඳු මෑණියන් දුන් උපදෙස් අනුව බලකොටු දෙතිසක් කැරැවූයේ ය. රජුට ම සමාන රජ රූප දෙතිසක් ද කරවා ඒ ඒ තන්හි තබා රජ තෙමේ ඇතුළු කොටුවෙහි සිටියේ ය.
දැන් එළාර රජු ද ගැමුණු රජු ද සිටින්නේ එක ම ප‍්‍රදේශයක තැන් දෙකක ය. ඔහු පලා ගියේ සටනට නිසි පරිදි සූදානම් වීමට මිස බියකට නොවන වගට පණිවිඩ ගැමුණු කුමරුට ලැබුණේ ය. හෙට උදයේ සටන සිදුවෙතැ යි ද දැන ගන්නට ලැබිණ.
පසු දා එළාර රජු ද යාන වාහන හා භට සේනා සහිත වූයේ පර්වත නම් ඇතු පිට නැඟ සංග‍්‍රාම භූමියට පැමිණියේ ය. දීඝජන්තු කඩු කෙළියෙහි මනා සූරයෙකි. මහ බළයෙන් යුත් දීඝජන්තු යෝධයා කඩු පළඟ ගෙන යුද කරමින් අටළොස් රියනක් අහසට නැඟී විකුම් පාමින් ඒ රජ රූ කඩුවෙන් සිඳිමින් එන්නේ, දුටුගැමුණු රජතුමා සිටි බලකොටුව කරා ද එමින් සිටියේ ය.
උපාලි සමරසිංහ
විජිතපුර සටනට මොහොත දැන් එළැඹී ඇත
සිළුමිණ පුවත්පතින් උපුටාගන්නා ලදි.
කොස්සෝකන්දේ පජ්ජෝත වැවේ ජල කී‍්‍රඩාවෙන් මතු යළි රැස්වූ ඒ බලසෙන් ගැමුණු නරනිඳු පිරිවරා පැමිණියේ ගල්කුලම හරහා ඔක්කම්පිටියේ තලගුරු වෙහෙරට ය. මේ ගමනේ දී තිරප්පනේ නමින් දැන් හැඳින්වෙන ස්ථානයේ ඒ බළ සේනාවේ අලි ඇතුන් ගාල් කරන ලදී. අසරුවනට මෙන් ම අශ්වයනට ද මඳ විරාමයක් ලැබිණ.
එප්පාවල - කටියාව වැව සමීපයෙහි විහාර මහා දේවිය හා පිරිවර ස්තී‍්‍ර ජනයා නැවතුණු තැන හැටියට සැලැකේ. භික්ෂූන් ඒ වැව ඉස්මත්තේ ළඳු කැලයෙන් පෝෂිත වන ඉසව්වේ දන් පිසීමට පිරිවර ඇති ව නවත්වා, නිරිඳු බළසෙන් පිරිවරා මේ ගමන පැමිණියේ ඇයි දැයි දැන් කා හටත් කුහුලකි.
ගැමුණු නරනිඳු යුදයෙහි දක්ෂ රණ ශූරයකු මෙන් ම පවත්නා තත්ත්වයන් පිළිබඳ නිබඳ අවදියෙන් සිටින්නෙකි. මහියංගණයේ සිට කසාගල ඉවුර තෙක් තමා අටවන ලද ප‍්‍රාදේශික කඳවුරු සියල්ල පයට හසු වූ පස් පිඬක් සේ සුනු විසුනු කළ ඒ යෝධ හමුදාව කෙරෙහි එළාර ගේ භීතිය නැඟී ආයේ ය.
ඒ නිසා ම හෙතෙම ගැමුණු ගේ ගමන් මඟ ගැන වඩා සෝදිසියෙන් ඔත්තු හමුදා මෙහෙයවමින් සිටියේ ය. කසාගලින් තමා ගේ ප‍්‍රධාන බලකොටුව එල්ල කැර ඔක්කම්පිටියෙන් පැන එන හමුදා ගැන දැන ගත් සොළී රජු විජිතපුර මහා බලකොටුව රැක ගැනීමට මහත් ආරක්ෂක පියවර ගෙන තිබිණ. මහවැලි ගඟ දිගට ඇති වෙනත් කඳවුරුවල භටයන් ද එහි කැඳවා තිබිණ.
ඔහු මේ හමුදා සේනාංකයක් කොයි මොහොතක හෝ තමා ගේ බල ඇණිය නසන පරමාර්ථයෙන් එවන්නට කටයුතු යොදන බව ගැමුණු කුමරු තේරුම් ගත්තේ ය. ඒ නිසා නිරිඳු ස්ති‍්‍රන් හා සංඝයා තැන තැන නතර කරවා මේ ගමන ආයේ ය. රජු නැවතුණ මේ ස්ථානය ඓතිහාසික වශයෙන් ද අතිශය වැදගත් රමණීය තැනෙකි.
තල්පත්වල අකුරු ලියූ හිමියන් වැඩ සිටි වෙහෙර පුරාණ තලගුරු වෙහෙර වී යැයි මතයකි. මෙසේ තල්පත්වල අකුරු ලියූ ඒ හිමියන් ධම්මදින්න නම් මහ රහතන් වහන්සේ ය. මෙහි තිබෙන කිරි වවුල් ගුහාව නම් තැන ඒ හිමියන් සතිපට්ඨාන සුතුර දේශනා කරන විට එය අසා කිරි වවුලන් සත්සියයක් ඒ අත්බවින් මිදී දෙව් ලොව ඉපි ද, පසු කාලයක මනුෂ්‍යාත්මභාව ලැබ නිවනට යොමු වූ බව ජනකතා පුරාණෝක්ති අතර එයි.
මේ කතාවට සමාන කතාවක් කිරින්ද යාල හන්දියේ වන ගහණයට යට වුණු නිමලව ආරණ්‍ය සේනාසනය හෙවත් පුරාණ තලගුරු වෙහෙර නම් වෙනත් ස්ථානයක ද එයි. එය ද හැඳින් වී ඇත්තේ තලගුරු වෙහෙර නමිනි. එහි ද වැඩ සිටියේ ධම්මදින්න නම් මහරහත් නමකි.
පුරාණ තලගුරු වෙහෙර |
උන්වහන්සේ එහි දී සතිපට්ඨාන සුතුර දේශනා කරන විට කහ ගැරඩියෙක් දහම් අසා සිටි ගෙම්බකු ගිල දැම්මේ ය. දහම් ඇසූ පිනෙන් ගෙම්බා තව්තිසා දෙව්ලොව ඉපැදුණ බව එහි දහම් කතා පුරාණයේ එයි. මේ ස්ථාන දෙකේ ම ධම්මදින්න නම් මහරහතන් වැඩ සිටි ගල්ගුහා කුටි ඇත්තේ ය.
නිමලව වැඩ සිටින කල කිසියම් ධර්ම සාකච්ඡාවකට ධම්මදින්න මහ තෙරුන් තිස්සමහාරාමයට වැඩියේ සෘද්ධියෙනි. අහස් තලයෙනි. මේ දුටු එතැන රැස්වී සිටි අනෙක් භික්ෂූහු මොහු තුළ රහත් බවක් නැත, මේ තරමක අභිඥාවක් පමණයි." යනුවෙන් සිතූ හ.
භික්ෂුහු සිතූ කරුණ අවබෝධ කැර ගත් ධම්මදින්න රහත් හිමියෝ 'මාගේ රහත් බවට මේ මහපොළොව පවා සාක්කි' යැයි පවසා තෙවිටක් තම පා සුළැඟිල්ලෙන් මිහිකතට තට්ටු කළහ. මහ පොළොව බෙරයක් මෙන් හඬ තැළුෑ බව ජන කතාවේ එයි.
ස්ථාන දෙකකම එක ම නමින් විහාරයක් තිබීම, එකම රහත් කෙනෙකුන් සම්බන්ධයෙන් කතා පැතිරීම, වැඩ සිටි කුටි ස්ථාන දෙකෙහිම පැවතීම සම්බන්ධයෙන් මා තුළ පැවැති කුහුල අවිනිශ්චිත බව මම එල්ලාවල නායක හිමියනට පැවැසීමි. උන්වහන්සේගේ පිළිතුර වූයේ එක ම හිමියන් විහාර දෙකේ ම වැඩ සිටින්නට බැරි මන්දැ යි යන්න ය.
කලගුරු වෙහෙරේ වැඩ සිටි හිමිවරුනට පැවැති දුර්භික්ෂ කාලයක දී මහනුවර යුගයේ සිටි මේඝවර්ණාභය නම් රජු මඟªල් ඇතු පිටින් කලගුරු වෙහෙරට වැඩි බව කියැවේ.
වල්පොල රාහුල හිමියන් ගේ 'ලංකා ශාසන ඉතිහාසය' පොතේ ද සඳහන් එපුවත පිළිගන්නෝ අදත් එපෙදෙස සිටිති. එදා මඟªල් ඇතු බැඳ දැමූ දම්වැල දැනටත් විහාරයේ ඇත. කි‍්‍ර. පූ. 4 - 5 අතර කාලයේ සද්ධාතිස්ස මහ රජු කළ විහාර කර්මාන්තයක් ලෙස සැලැකෙන කලගුරු වෙහෙරේ එක තැනෙක නාග භවන නම් ස්ථානයක් ද වෙයි. තවමත් කිරිවවුල් ගුහාව ද පවතී.
අති දැවැන්ත නාගයකු විසින් මේ විහාරයේ ගල් පවුරු හා නටබුන් රැක සිටින්නේ යැයි ගැමියෝ කියති.
කටාරම් කෙටූ ලෙනක් |
වැඩුණු මිනිසකුගේ කලවා පෙදෙසක් තරම් ශරීරයක් ඇති අඩි 12 - 13 ක් දිග මේ නාගයා තවමත් දිවමන් බව කියයි. මා මින් පෙර මෙවැනි නාගයන් අතීතයේ වැඩ සිටි බිමක් ලෙස දුටුයේ ගිරුවාපත්තුවේ නයිගල නම් විහාරයේ ය. ගැමුණු නරනිඳු මේ විහාරයේ ගිම් නිවන කල පයිංඩරුවෙක් රජු සොයා පැමිණ දොහොත් මුදුන් දී වැන්දේ ය.
"අවසර දේවයන් වහන්ස, එළාරගේ බල ඇණියක් පැමිණ නුදුරු ගල්කුලමේ අපේ භටයන් වනසා දමමින් සිටිති. සුරනිමල යෝධයා හා වේළුසුමන යෝධයා උන් හා මහත් සටනක් කරති. ඔවුන් පැමිණ ඇත්තේ ඔබවහන්සේ රැඳී සිටින කලගුරු වෙහෙරටයි."
රජ වහා ම කි‍්‍රයාත්මක විය. බල ඇණියට සූදානම් වන සංඥාව නිකුත් කැරිණි. රජ කඩොලැතු විහාරයේ තබා අජානේය අසකු පිට නැංගේ ය. මහා සේනාව ඔල්වරසන් දෙමින් ගල්කුලම බලා පිටත් වූහ.
එහි එන විටත් එතැන එක ම හිස් ගොඩක් විය. සුරනිමල යෝධයා තලා දැමූ සොළීන් ගේ සිරුරු තැන තැන විය. ලභියවසභ, කංජදේව, පුස්සදේව, භරණ ආදි යෝධයෝ දෙපස ඇති ගස් කඳන් බිම පෙරළා සොළීනට පහර දෙමින් සිටියහ.
කුමරුන් එහි පැමිණෙන විට කඩු ගාන්නට ලැබුණේ එක ම එක සොළියකු පමණි. බොහෝ සොළීන් මෙන් ම ධීර වීර සිංහල සෙබළුන් ගේ සිරුරු ද තැන තැන වැටී තිබෙනු දුටු කුමරු තුළ ශෝකයක් උපන්නේ ය.
ඒ බල ඇණියේ සොළීන් එක්දහස් දෙසීයක් පමණ වී. ඉන් තුනෙන් එකක් එතැන ම මරා දමා තිබිණ. පහර දෙන්නට ආ වේගයටත් වඩා වේගයෙන් ඔව්හු යළි පලා ගියහ. ඉක්බිති මහ රජ සිංහලයේ මහා සටනට විජිතපුර සටනට සූදානම් වීමට දැන් මොහොත එළැඹ ඇත්තේ යැයි කියමින් ජය සක් පිම්ඹේ ය.
උපාලි සමරසිංහ
ඡායාරූප
විමල් කරුණාතිලක