Monday, February 25, 2008

ලංකාවට පුරාවිද්‍යා පර්යේෂකයින් ඕනෑකර තිබේ...

මම මේ දින වල ලංකාවේ ඉපැරණි යුගයන්ට සමගාමී ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳව කරුණු සොයමින් සිටිමි. විශේෂයෙන්ම ලංකාවේ රාවන යුගය හා සමගාමීව පැවත ඇති ඉන්කා, මායා, ඇස්ටෙක්, බැබිලෝනියන් හා ඊජිප්තු වැනි ශිෂ්ටාචාරයන් පිළිබඳව මේ වන විට පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් විසින් කර ඇති අධ්‍යයනයන් පිළිබඳව සොයාබලමින් සිටිමි.

පුදුමයට හා දුකට කරුණ නම් මෙතරම් විශ්මය දනවන නිර්මාණ, තාක්ෂණයන් හා ශිල්පක්‍රම පැවති අපේ සිංහල ශිෂ්ටාචාරය පිළිබඳව ලෝකයේ අවධානයට ලක්ව ඇත්තේ ඉතාමත් නොසැලකියහැකි තරමේ ප්‍රමාණයකිනි. එවන් අයුරින් හෝ කතාබවහට ලක්වී ඇත්තේ අපේ රටේ පර්යේෂකයින්ගේ උත්සාහය නිසා නොව වෙනත් පුරාවිද්‍යා පර්යේෂකයින් විසින් වෙනත් ශිෂ්ටාචාරයන්ගෙන් මතුකරගන්නා ලද ලංකාව හා රාවන රජු ගැන තොරතුරු නිසාය. එම පර්යේෂකයින් ඉතා උද්යෝගයකින් ඉහත කී වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳ හෙළිදරව් කරගෙන ඇති පුදුමසහගත තොරතුරු හා ඒ ඔස්සේ සිදුකරගෙන යන පර්යේෂණ පිළිබඳව සොයා බැලීමේදී මට ඇති වූයේ විශාල කනගාටුවකි. මක්නිසාද, අප රටේ අතීතයෙන් උරුම වී දැනට පවතින හා පැවතුනු බවට සාධක ඇති විශ්මය දනවන දෑ පිළිබඳව සලකා බැලීමේදී අපගේ පුරාණ ශිෂ්ටාචාරය මීට වඩා සිය දහස් ගුණයකින් ලෝකයේ අවධානයට පාත්‍ර විය යුතුයැයි හැඟෙන බැවිනි.

රාවන යුගයේ පටන් අනුරාධපුර, පොළොන්නරු හා මහනුවර යුගයන් දක්වා අප පුරාණ ශ්ෂ්ටාකාරයේ පැවති නිර්මාණ, තාක්ෂණයන්, ශිල්පක්‍රම ආදී අපට අනන්‍ය බොහෝ දෑ පිළිබඳව සැලකීමේදී තවමත් අප සිංහල ශිෂ්ටාචාරය මියැදී නැත. අප ශිෂ්ටාචාරයේ පවතින එම යම්තරමක හෝ ජීවමාන ස්වභාවයම, එය අවධානයට පාත්‍ර නොවීමට හේතුවක් වී දැයි සැකයක්ද මට ඇති විය.

වාරි කර්මාන්තය, පාරම්පරික සිංහල වෙදකම, පාරම්පරික කෘෂිකර්මය හා බැඳුනු තාක්ෂණයන්, බලි තොවිල්, ශාන්තිකර්ම, රූකඩ කලාව ආදී අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘතිකාංග, සටන්කලාව, නටබුන් අතරින් මතුවන ගොඩනැගීම් ශිල්පක්‍රම, වානේ තාක්ෂණය, හා රාවන යුගයේ පැවති ගුවන් යානා තාක්ෂණයන් ආදී මෙකී නොකී බොහෝ දෑ බාහිර ලෝකයේ අවධානයට තවමත් ප්‍රමාණාත්මක අයුරින් ලක් වී හෝ ලක් කර නොමැති බව හැඟේ.

මගේ අවසාන නිගමනය වූයේ අපේ ඉතිහාසය හා ඉතිහාසයෙන් උරුම වී තවමත් පැවත එන දෑ පිළිබඳව පර්යේෂණ පවත්වා ලෝකය හමුවේ තැබීමට රාජ්‍ය මට්ටමින් හෝ ස්වේච්ඡා මට්ටමින් හෝ ඇත්තේ අල්ප උත්සාහයක් බවයි. එමෙන්ම දැනට සිදුකරන පුරාවිද්‍යා පර්යේෂණ පවා සිදුවන්නේ හුදෙක් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබාගැනීමට මිස සැබෑ උවමනාවකින් නොවේ. එවන් ආකාරයෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගත්තවුන්ගෙන් අපේ අනන්‍යතාවයන් ලෝක මට්ටමට ගෙනයා නොහැක. එමනිසා ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනයෑමට නම් ලංකාවට සැබෑ උවමනාවකින් යුතු පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් උවමනා කර තිබේ!

Monday, December 24, 2007

ජීවිතය?

ජීවිතය ගැන කියවෙන ලස්සන සෙන් කවියක් හමුවුනා...

Yo no naka wa
nani ni tatoen
yamabiko no
kotauru koe no
munashiki ga goto

[by Monk Ryokan (1758-1831)]

මේ මිහිමත අපේ ජීවිතය
මා කුමක් සමඟ සසඳම්ද?
එය දෝකාරයක් වැනිය
කඳු අතර රැව්පිලිරැව් දී
හිස් අහස් ගැබ වෙත නික්ම යන

මඩ‍ගොහොරු පාර

ටැන්-සන් සහ අයි-කී-ඩෝ යන සෙන් හිමිවරුන් දෙදෙනා වැසි සහිත දිනයක මඩ ගොහොරු සහිත පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියා.

අලංකාර සිල්ක් කිමෝනාවක් හැඳගත් ඉතා රූමත් තරුණියක් වංගුවක පාර වෙන්වන සේ සෑදුනු මඩ වලක් අසල එයින් එතෙර වීමට නොහැකිව ලතවෙමින් සිටිනු දුටු ටැන්-සන්, ''එන්න" කියා මඩ වගුරෙන් එතෙරට තරුණියව ඔසවාගෙන ගොස් තබා සුපුරුදු ගමන යලි ඇරඹුවා.

මේ සිද්ධිය දැක තුෂ්නිම්භූත වූ අයි-කී-ඩෝ රාත්‍රී නවාතැන්පලක් වෙත පැමිණෙන තෙක්ම ටැන්-සන් සමඟ කිසිවක් කතා කලේ නැහැ.
ඉවසාගත නොහැකි තැන අයි-කී-ඩෝ තරහින්, "අපි හාමුදුරුවරු! කාන්තාවන් අසලට කිට්ටු වෙන්නවත් හොඳ නෑ..., විශේෂයෙන්ම රූමත් තරුණ අය ලඟට, ඒක බොහොම භයානක වැඩක්! ඇයි ඔබ ඒ වගේ නොහොබිනා වැඩක් කලේ?" යැයි ටැන්-සන්ගෙන් විමසුවා.

"මම ඇයව එතන තියලයි ආවේ... ඔබ තවමත් ඇයව ඔසවාගෙනද සිටින්නේ?" යැයි පැවසුවා.

Monday, November 19, 2007

සෙන් කතා: තේ කෝප්පය

මෙයිජී යුගයේ (1868-1912) ජීවත් වූ ප්‍රකට ජපන් සෙන් ඇදුරෙකු වූ නැන්-ඉන් හමුවී සෙන් දහම ගැන විමසීමට දිනක් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු පැමිණියා.

චාරිත්‍රානුකූලව අමුත්තාට තේ පැන් පිළිගැන්වීමට නැන්-ඉන් නිහඬව සූදානම් වෙද්දී මහාචාර්යවරයා සෙන් ගැන කතා කරන්නට පටන් ගත්තා. අමුත්තාගේ කෝප්පයට තේ වත්කල නැන්-ඉන් කෝප්පයේ ගැට්ටටම තේ පිරුණු පසුත් දිගටම තේපැන් වත්කලා.

තේ පැන් වලින් පිරී ඉතිරී යන කෝප්පය දෙස නොඉවසිලිමත්ව බලා සිටි මහාචාර්යවරයා බැරිමතැන "ඇදුරුතුමනි, කෝප්පය පිරී ඉතිරී යනවා. තවත් තේ වත්කලාට කෝප්පය ඇතුලට යන්නේ නැහැ" යැයි පැවසුවා.

නැන්-ඉන්, "මහාචාර්යතුමනි, මේ කෝප්පය වගේ ඔබේ හිසත් ඔබගේම නිගමන හා සංකල්පනාවන්ගෙන් පිරී ඉතිරී ගිහින්. පළමුව ඔබ ඔබේ කෝප්පය හිස් කරගන්නේ නැතිව මම කොහොමද ඔබට සෙන් ගැන කියා දෙන්නේ?" යැයි පැවසුවා.

Thursday, November 15, 2007

අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය

ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...

තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.













රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.


කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?

















මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.

මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් ද, මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.

එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.

තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.

ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)

එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.












සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.

____________