Saturday, April 19, 2008

සෙන් දහම ගැන කෙටි හැඳින්වීමක්

පෙරදිග ආසියාවේ ව්‍යාප්තව පවතින සෙන් දහම (සෙන් බුද්ධාගම, චාන්, සියෝන් වැනි නම් වලින්ද හැඳින්වේ.) බුදුදහමෙහිම මහායාන සම්ප්‍රදායක් වේ.

සෙන් දහමේදී විශේෂයෙන් අවධාරණය කෙරෙන්නේ "සෑම මොහොතකම සවිඥානිකව සිටීම (මේ මොහොත තුල ජීවත්වීම)", "ප්‍රායෝගිකව ජීවිතය විඳීම හා නිරීක්ෂණය මගින් ප්‍රඥාව ඇතිකර ගැනීම" යන කරුණුය.

සෙන් දහම 17 වන සියවසේ දී බෝධිධර්ම හිමියන් විසින් චීනයට හඳුන්වාදී ඇති අතර ඔහු සෙන් දහමේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙයි. බෝධිධර්ම හිමියන් චීනයට බුදුදහම ගෙනගියා යැයි සංකේතවත් කිරීමට සිවුරක්, පාත්‍රයක් හා ලංකාවතාර සූත්‍රයේ පිටපතක් ගෙනගිය බව සඳහන් වේ.

සෙන් දහමේ මූලික ඉගැන්වීමක් වන්නේ "පණ ඇති සෑම ජීවියෙකු තුලම සහජයෙන් පවතින ප්‍රඥාවක් සහ ශීලයක් ඇති බවත් (එම සහජ ස්වභාවය බුද්ධ-ස්වභාවය [Buddha nature] ලෙස හැඳින්වේ.), එම බුද්ධ-ස්වභාවය වෙනෙකක් නොව මනසේ ස්වභාවය බවය. සෙන් වල පරමාර්ථය දෛනිකව අත්විඳින දෑ පිළිබඳව මනා සිහියක් පවත්වාගනිමින් භාවනා කිරීමෙන් තමන් තුල පවතින එම බුද්ධ-ස්වභාවය මතුකර ගැනීම"ය. ආකාරයෙන් ජීවිතය, සංසාරය ගැන ස්වයං-ගවේශනයක යෙදී බුද්ධ-ස්වභාවය ඉස්මතුකරගෙන අවසානයේ "පූර්ණ අවබෝධය" (නිර්වාණය) සාක්ෂාත් කරගැනීම සෙන් දහමේ ඉගැන්වීම වේ.

වචන ගැන විශ්වාසයක් නොතබන ලෙසත්, වචන විවිධ පුද්ගලයන් විසින් වැරදියට අවබෝධකරගන්නා‍ බවත්, බුදුරජාණන්වහන්සේ අවබෝධය ලබාගත්තේ භාවනාව තුලින් මිස පොත්පත් කියවා ඒ තුල වූ වචන තේරුම් ගැනීමෙන් නොවන බවත්, අනෙක් සෑම පුද්ගලයෙකුම බුදුරජාණන්වහන්සේ කළ ආකාරයෙන්ම භාවනාව තුලින් තමන්ගේ ඇතුලාන්තය ගවේශනය කර අවබෝධය ලබාගත යුතු බවත් සෙන් ඉගැන්වීම් තුල විශේෂයෙන් අවධාරණය කෙරෙන කරුණකි.

කෙසේ වෙතත් සෙන් දහමේ මෙම ඉගැන්වීම් වල‍ට පාදක වී ඇත්තේ බුදුරජාණන්වහන්සේ විසින් ලංකාධිපති රාවන රජුට දේශන කළායැයි කියවෙන "ලංකාවතාර" සූත්‍රයයි. එම සූත්‍රය පාදක කරගනිමින් බෝධිධර්ම හිමියන් සෙන් දහම ඉගැන්වූ බව සෙන් දහමේ ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම විමලකීර්ති නිර්දේශ සූත්‍රය, නෙළුම් (පද්ම) සූත්‍රය, දියමන්ති සූත්‍රය, හෘදය ප්‍රඥා‍පාරමිතා සූත්‍රය වැනි සූත්‍රයන්ද සෙන්දහමේ මූලික ඉගැන්වීම් වලට පාදක වී ඇත. තවද තාඕ දහම, හුවායෙන්බුදුදහම වැනි වෙනත් සම්ප්‍රදායන්ගේ ආභාශයද සෙන් දහමට ලැබී ඇත.

බුදුදහමේ මූලික ඉගැන්වීම් වන පටිච්ච සමුප්පාද ධර්මය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය, පංචශීල වැනි ධර්මයන්ද සෙන්දහමේ මූලික ඉගැන්වීම් වේ.

එමෙන්ම බෝධිසත්ව පරමාදර්ශය ඉතා ඉහලින් සෙන් දහම තුල අගය කෙරෙන අතර ගෞතම බුදුරජාණන්වහන්සේට අමතරව අවලෝකිතේෂ්වර, අමිතබ්භ, මංජුශ්‍රී, සමන්තභද්‍ර, වැනි බෝධිසත්ව චරිත වන්දනයට පාත්‍ර වේ.

සෙන් කතා නොහොත් සෙන් කොආන් වලට සෙන් සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි වේ. මෙම සෙන් කතා විවිධ සෙන් ගුරුවරුන් විසින් රචිත ග්‍රන්ථවල සඳහන් වේ. ෂන්සෙකි-ෂූ (ගල් සහ වැලි එකතුව - A Collection of Stones & Sand), වූ-මේ-ගුආන් (ගේට්ටුවක් නැති ගේට්ටුව-The Gateless gate), බියාන්-ලූ (නිල්පැහැ ප්‍රපාතයේ සටහන-The Blue Cliff Record) වැනි ග්‍රන්ථ වල සෙන් කතා විශාල ප්‍රමාණයක් අන්තර්ගත ය.

සෙන් කතා බොහෝමයක් ඉතා කෙටි සහ සරල වචන වලින් යුක්ත වන අතර අභ්‍යන්තරයෙන් ඉතා ගැඹුරු අර්ථයන් ගෙනහැර දක්වයි. යම් යම් සංසිද්ධි පිළිබඳව යථාර්තය දැකීම, තමන් තුල ඇති බුද්ධ-ස්වභාවය තේරුම් ගැනීම, උපහාසය, උපමාවන් මෙන්ම විහිළුද සෙන් තකා තුල අන්තර්ගත වේ.

Sources:

  • http://www.zenguide.com
  • http://www.ashidakim.com
  • http://en.wikipedia.org/wiki/Zen

ගිහින් නිදා ගන්න

මෙන්න තවත් අර්ථවත් සෙන් කතාවක්:

ටේ-සූ-කී නම් තම ගුරුවරයාගේ අභාවයට දින 3 කට පෙර ගා-සාන් ඔහු අසල වාඩි වී සිටියා. ඒ වන විටත් තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ටේ-සූ-කී විසින් ගා-සාන් ව තෝරාගෙන තිබුණා.

ගා-සාන් සිටියේ ටිකදිනකට පෙර ගිනිගෙන විනාශ වූ පන්සල නැවත ගොඩනඟමිනුයි. "පන්සල සාදා නිම වූ පසු ඔබ මොකද කරනනේ?" යැයි ටේ-සූ-කී ඔහුගෙන් ඇසුවා.

"ඔබේ අසනීප තත්වය පහ උනාම ඔබ ලවා එහි දේශනයක් කරවන්නයි හිතාගෙන ඉන්නේ" යැයි ගා-සාන් පැවසුවා.

"මම ඒ වෙනකොට හිටියේ නැත්නං ?"

"එහෙම උනොත් අපි වෙන කෙනෙක් හොයා ගන්නවා..", ගා-සාන් පැවසුවා.

"ඔබට වෙන කෙනෙක් හොයා ගන්න බැරි උනොත්?", ටේ-සූ-කී ඇසුවා.

ගා-සාන් ටිකක් හයියෙන්: "ඔය වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා‍! ගිහින් නිදාගන්න"

(සමහර සෙන් කතා මතුපිටින් බැලුවම අභ්‍යන්තර අර්ථය පැහැදිළි නෑ. සෙන් කතා ගැන අපැහැදිලි තැන්, ප්‍රශ්න තියනම් comment එකක් දාන්න. මම පුළුවන් විදියට reply කරන්නම්)

Friday, April 18, 2008

උපමාව

දිනක් වනයක් හරහා යමින් සිටි පුදගලයෙක් වෙත එක්වරම කොටියෙක් කඩා පැන්නා. දුවන්නට පටන්ගත් ඔහු පසුපස කොටියා පනාගෙන ආවා. ප්‍රපාතයක් වෙත ලඟා වූ මිනිසා පහලට එල්ලී තිබූ වැලක එල්ලුනා. දැන් කොටියා ඔහුගේ හිසට ඉහලින් ගොරවමින් සිටින අතර ප්‍රපාතය පහල බැලූ ඔහුට තවත් කොටියෙකු තමා වැටෙන තුරු කැරකෙමින් සිටින බව දුටුවා. ඔහුගේ ඉරණම තිබුනේ එල්ලී සිටි වැලේ පමණයි.
මොහොතකින් ප්‍රපාතයේ ගුලකින් එලියට පැමිණි කලු සහ සුදු පැහැති මීයන් දෙදෙනෙක් ඔහු එල්ලී සිටින වැල හපන්නට පටන් ගත්තා‍. වටපිට බැලූ ඔහුට අතපොවන මානයේ ඇති හොඳින් වැඩුනු පඳුරක රසවත් ස්ට්‍රෝබෙරි ගෙඩියක් පෙනුනා. එක් අතකින් වැලේ එල්ලුනු ඔහු අනෙක් අතින් ස්ට්‍රෝබෙරි ගෙඩිය කඩාගෙන කටේ දාගත්තා. ෂා පුදුම රසයි!

යසරුවන් වෙනුවෙන්

Monday, February 25, 2008

ලංකාවට පුරාවිද්‍යා පර්යේෂකයින් ඕනෑකර තිබේ...

මම මේ දින වල ලංකාවේ ඉපැරණි යුගයන්ට සමගාමී ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳව කරුණු සොයමින් සිටිමි. විශේෂයෙන්ම ලංකාවේ රාවන යුගය හා සමගාමීව පැවත ඇති ඉන්කා, මායා, ඇස්ටෙක්, බැබිලෝනියන් හා ඊජිප්තු වැනි ශිෂ්ටාචාරයන් පිළිබඳව මේ වන විට පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් විසින් කර ඇති අධ්‍යයනයන් පිළිබඳව සොයාබලමින් සිටිමි.

පුදුමයට හා දුකට කරුණ නම් මෙතරම් විශ්මය දනවන නිර්මාණ, තාක්ෂණයන් හා ශිල්පක්‍රම පැවති අපේ සිංහල ශිෂ්ටාචාරය පිළිබඳව ලෝකයේ අවධානයට ලක්ව ඇත්තේ ඉතාමත් නොසැලකියහැකි තරමේ ප්‍රමාණයකිනි. එවන් අයුරින් හෝ කතාබවහට ලක්වී ඇත්තේ අපේ රටේ පර්යේෂකයින්ගේ උත්සාහය නිසා නොව වෙනත් පුරාවිද්‍යා පර්යේෂකයින් විසින් වෙනත් ශිෂ්ටාචාරයන්ගෙන් මතුකරගන්නා ලද ලංකාව හා රාවන රජු ගැන තොරතුරු නිසාය. එම පර්යේෂකයින් ඉතා උද්යෝගයකින් ඉහත කී වෙනත් ශිෂ්ටාචාරයන් පිළිබඳ හෙළිදරව් කරගෙන ඇති පුදුමසහගත තොරතුරු හා ඒ ඔස්සේ සිදුකරගෙන යන පර්යේෂණ පිළිබඳව සොයා බැලීමේදී මට ඇති වූයේ විශාල කනගාටුවකි. මක්නිසාද, අප රටේ අතීතයෙන් උරුම වී දැනට පවතින හා පැවතුනු බවට සාධක ඇති විශ්මය දනවන දෑ පිළිබඳව සලකා බැලීමේදී අපගේ පුරාණ ශිෂ්ටාචාරය මීට වඩා සිය දහස් ගුණයකින් ලෝකයේ අවධානයට පාත්‍ර විය යුතුයැයි හැඟෙන බැවිනි.

රාවන යුගයේ පටන් අනුරාධපුර, පොළොන්නරු හා මහනුවර යුගයන් දක්වා අප පුරාණ ශ්ෂ්ටාකාරයේ පැවති නිර්මාණ, තාක්ෂණයන්, ශිල්පක්‍රම ආදී අපට අනන්‍ය බොහෝ දෑ පිළිබඳව සැලකීමේදී තවමත් අප සිංහල ශිෂ්ටාචාරය මියැදී නැත. අප ශිෂ්ටාචාරයේ පවතින එම යම්තරමක හෝ ජීවමාන ස්වභාවයම, එය අවධානයට පාත්‍ර නොවීමට හේතුවක් වී දැයි සැකයක්ද මට ඇති විය.

වාරි කර්මාන්තය, පාරම්පරික සිංහල වෙදකම, පාරම්පරික කෘෂිකර්මය හා බැඳුනු තාක්ෂණයන්, බලි තොවිල්, ශාන්තිකර්ම, රූකඩ කලාව ආදී අවුරුදු දහස් ගණනක් පැරණි සංස්කෘතිකාංග, සටන්කලාව, නටබුන් අතරින් මතුවන ගොඩනැගීම් ශිල්පක්‍රම, වානේ තාක්ෂණය, හා රාවන යුගයේ පැවති ගුවන් යානා තාක්ෂණයන් ආදී මෙකී නොකී බොහෝ දෑ බාහිර ලෝකයේ අවධානයට තවමත් ප්‍රමාණාත්මක අයුරින් ලක් වී හෝ ලක් කර නොමැති බව හැඟේ.

මගේ අවසාන නිගමනය වූයේ අපේ ඉතිහාසය හා ඉතිහාසයෙන් උරුම වී තවමත් පැවත එන දෑ පිළිබඳව පර්යේෂණ පවත්වා ලෝකය හමුවේ තැබීමට රාජ්‍ය මට්ටමින් හෝ ස්වේච්ඡා මට්ටමින් හෝ ඇත්තේ අල්ප උත්සාහයක් බවයි. එමෙන්ම දැනට සිදුකරන පුරාවිද්‍යා පර්යේෂණ පවා සිදුවන්නේ හුදෙක් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් ලබාගැනීමට මිස සැබෑ උවමනාවකින් නොවේ. එවන් ආකාරයෙන් ආචාර්ය, මහාචාර්ය පට්ටම් ගත්තවුන්ගෙන් අපේ අනන්‍යතාවයන් ලෝක මට්ටමට ගෙනයා නොහැක. එමනිසා ලාංකික අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙනයෑමට නම් ලංකාවට සැබෑ උවමනාවකින් යුතු පුරාවිද්‍යාඥයින් හා පර්යේෂකයින් උවමනා කර තිබේ!