Monday, December 24, 2007

මඩ‍ගොහොරු පාර

ටැන්-සන් සහ අයි-කී-ඩෝ යන සෙන් හිමිවරුන් දෙදෙනා වැසි සහිත දිනයක මඩ ගොහොරු සහිත පාරක් ඔස්සේ ගමන් කරමින් සිටියා.

අලංකාර සිල්ක් කිමෝනාවක් හැඳගත් ඉතා රූමත් තරුණියක් වංගුවක පාර වෙන්වන සේ සෑදුනු මඩ වලක් අසල එයින් එතෙර වීමට නොහැකිව ලතවෙමින් සිටිනු දුටු ටැන්-සන්, ''එන්න" කියා මඩ වගුරෙන් එතෙරට තරුණියව ඔසවාගෙන ගොස් තබා සුපුරුදු ගමන යලි ඇරඹුවා.

මේ සිද්ධිය දැක තුෂ්නිම්භූත වූ අයි-කී-ඩෝ රාත්‍රී නවාතැන්පලක් වෙත පැමිණෙන තෙක්ම ටැන්-සන් සමඟ කිසිවක් කතා කලේ නැහැ.
ඉවසාගත නොහැකි තැන අයි-කී-ඩෝ තරහින්, "අපි හාමුදුරුවරු! කාන්තාවන් අසලට කිට්ටු වෙන්නවත් හොඳ නෑ..., විශේෂයෙන්ම රූමත් තරුණ අය ලඟට, ඒක බොහොම භයානක වැඩක්! ඇයි ඔබ ඒ වගේ නොහොබිනා වැඩක් කලේ?" යැයි ටැන්-සන්ගෙන් විමසුවා.

"මම ඇයව එතන තියලයි ආවේ... ඔබ තවමත් ඇයව ඔසවාගෙනද සිටින්නේ?" යැයි පැවසුවා.

No comments: