ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් ගෙන වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩනැගූ මිනිස්සූ
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ
පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳහිට හෝ සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත්කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන සඳු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ
>> අහල බලන්න....
Monday, November 26, 2007
ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ....
Monday, November 19, 2007
සෙන් කතා: තේ කෝප්පය
මෙයිජී යුගයේ (1868-1912) ජීවත් වූ ප්‍රකට ජපන් සෙන් ඇදුරෙකු වූ නැන්-ඉන් හමුවී සෙන් දහම ගැන විමසීමට දිනක් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකු පැමිණියා.
චාරිත්‍රානුකූලව අමුත්තාට තේ පැන් පිළිගැන්වීමට නැන්-ඉන් නිහඬව සූදානම් වෙද්දී මහාචාර්යවරයා සෙන් ගැන කතා කරන්නට පටන් ගත්තා. අමුත්තාගේ කෝප්පයට තේ වත්කල නැන්-ඉන් කෝප්පයේ ගැට්ටටම තේ පිරුණු පසුත් දිගටම තේපැන් වත්කලා.
තේ පැන් වලින් පිරී ඉතිරී යන කෝප්පය දෙස නොඉවසිලිමත්ව බලා සිටි මහාචාර්යවරයා බැරිමතැන "ඇදුරුතුමනි, කෝප්පය පිරී ඉතිරී යනවා. තවත් තේ වත්කලාට කෝප්පය ඇතුලට යන්නේ නැහැ" යැයි පැවසුවා.
නැන්-ඉන්, "මහාචාර්යතුමනි, මේ කෝප්පය වගේ ඔබේ හිසත් ඔබගේම නිගමන හා සංකල්පනාවන්ගෙන් පිරී ඉතිරී ගිහින්. පළමුව ඔබ ඔබේ කෝප්පය හිස් කරගන්නේ නැතිව මම කොහොමද ඔබට සෙන් ගැන කියා දෙන්නේ?" යැයි පැවසුවා.
Friday, November 16, 2007
සිංහලකම - සිංහලකම ඉදිරියට ගෙනයා යුතුද? (2)
වර්තමානයේ බොහෝ සිංහලයින්ට ඇති දෙගිඩියාවන් කිහිපයක් වන්නේ මේ 'සිංහලකම' නවීනත්වය සමඟ මුසුකොට තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනවාද, නැතිනම් එය අතහැර බටහිර සංස්කෘතිය වැළඳගන්නවාද, නැතිනම් කොමියුනිස්ට් යුගයක් ගැන සිහින මවමින් මාක්ස්වාදී පෙළපාලියට එක්වනවාද, එසේත් නැතිනම් වෙනත් සුළඟකට හසුවී යන අතකට ගසාගෙන යාමට ඉඩහැර සිටිනවාද යන්නයි. වර්තමානයේ මෙම විවිධ මතයන්ගේ එල්ඹ සිටින්නන් ආගමික, දේශපාලනික, සංස්කෘතිකමය වශයෙන් බෙදී ඉහත ඒවායින් කුමක් තොරාගන්නවාද යන්න සඳහා පොරයක යෙදී සිටිති.
උදාහරණයක් වශයෙන් ලංකාවේ දේශපාලන බලුපොරය මේ වන විට බොහෝ පැහැදිළි ලෙස පිල් බෙදී සිටිති. එක්සත් ජාතික පක්ෂය බටහිර කඳවුර වෙනුවෙන්ද, පොදු පෙරමුණ-හෙළ උරුමය සිංහල ජාතික කඳවුර වෙනුවෙන්ද, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වමේ පක්ෂ මාක්වාදී කඳවුර වෙනුවෙන්ද සටනක යෙදෙති. ලංකාවේ බොහෝ තීරණ දේශපාලනික බලය මත රඳාපවතින (තීරණය වන) නිසා මෙම ප්‍රධාන කඳවුරු තුනෙන් බලවත් වන්නන්ගේ මතය 'සිංහලකමේ' අනාගතය තීරණවීමට විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනු ඇත. (එය එසේ නොවීමටද පුළුවන.) කෙසේ වුවත් 'සිංහලකමේ' අනාගතය අපේ දර්ශනයට අනුව කලින් තීරණය වී හෝ තීරණය කර නොමැති නිසා අනාවැකි කීමට නොයමි.
සිංහලකම යනු අඛණ්ඩව සංස්කරණය වන (අළුතින් දේ එකවන, නොගැලපෙන හෝ යල්පැනගිය දේ ඉවත්වන) සම්මුතියකි. නමුත් බටහිර සුළඟ හෝ පෙරදිග සුළඟ මගින් ගසාගෙන එන කුණුකන්දල් සියල්ලම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වද්දා ගන්නට තරම් විවෘත හෝ මෝඩ සම්මුතියක් නොවේ. එමෙන්ම අපට ආවේණික දේ කිසිඳු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව පිටතට දෙන හෝ අනුන් මත බලෙන් පටවන සම්මුතියක්ද නොවේ.
'සිංහලකම' වර්තමාන/අනාගත වියවුල් ලෝකයට පරමාදර්ශයකි. ආධ්‍යාත්මිකත්වය සමඟ මුසු වූ, සොබාදහම සමඟ බද්ධ වූ, යථාර්තය හා නිර්ව්‍යාජත්වය මත පදනම් වූ සිංහලකම බටහිර වියවුල් සමාජ සංස්කෘතික ව්‍යුහයටත්, කිසිදා සැබෑ නොවන (සැබෑ වුවොත් මානවයාගේ පැවැත්ම අවසන් වන) මාක්ස්වාදීන්ගේ කොමියුනිස්ට් මනෝරාජ්‍යයටත් විසඳුමකි, විකල්පයකි, මැරෙන්නට පෙර එක් දවසක් හෝ සැනසිල්ලේ ගතකල හැකි නවාතැනකි!
Thursday, November 15, 2007
අපට අහිමි වූ විශ්වීය ඥාණය: සක්වල චක්‍රය
ටික කලකට පෙර මම රන්මසු උයනේ සක්වල චක්‍රය ගැන ලියපු ලිපයක් හමුවුනා... බ්ලොග් එකට දාන්න හොඳයි කියලා හිතුන නිසා යුනිකෝඩ් වලට හරවලා දැම්මා...
තිසා වැව් කණ්ඩියට පහළින්ද, වෙස්සගිරි පර්වත සමූහයේ උතුරු පෙදෙසට වන්නට ඉසුරුමුණි පර්වතයට පසුව හමුවන රන්මසු උයන සිංහලයින් වන අපට ඉතා වටිනා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. එයට හේතු කිහිපයක් ඇත. රන්මසු උයන තුලින් අපගේ ආදි මුතුන් මිත්තන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ද, විශිෂ්ඨ තාක්‍ෂණික දැනුම ද, පරිසරය සමඟ තිබූ ඵෙන්ද්‍රීය බැඳීම ද, එකළ තිබූ සෞභාග්‍යය ද විදහා දැක්වේ. රන්මසු උයනට මෙන්ම අනුරාධපුරයේ නැරඹීමට බොහෝ දේ ඇතත් බොහෝ දෙනා එහි යන්නේ විනෝදය පිණිසය.
රජ කුමාරවරු ජල ක්‍රීඩා කළ රන්මසු උයනේ සම්පූර්ණයෙන්ම ගලින් නිම කළ පොකුණු 2 ක් ඇත. තිසා වැව් කණ්ඩිය යටින් නල යොදා වැවේ රළ පහරේ පීඩනයෙන් මෙම පොකුණු පිරවීමටත්, ජල මල් ආදිය ක්‍රියා කරවීමටත් තරම් අපේ මුතුන් මිත්තන් සතුව විශිෂ්ඨ තාක්‍ෂණික ඥාණයක් තිබී ඇත. සුවපහසුව සඳහා තැනූ කුටි වලින්ද අලංකාර කැටයමින් ද යුතු මේ පොකුණු සම්පූර්ණයෙන් ම එකිනෙකට සූක්‍ෂම ලෙස පිරිද්දූ ගලින් සාදා ඇත.
කෙසේ වෙතත් රන්මසු උයනට යන බොහෝ දෙනෙකුට මඟහැරෙන, අපගේ මුතුන් මිත්තන් පිළිබඳ තවත් වැදගත් තොරතුක් සපයන පර්වත මුහුණතක ඇති ‛‛සක්වල චක්‍රය’’ ඔබ දැක තිබේද?
මෙහි දැක්වෙන්නේ එම ‛‛සක්වල චක්‍රයේ’’ රූප සටහනකි. මෙය දැනට සක්වල චක්‍රය ලෙස හැඳින්වුවත් අතීතයේ දී එය හැඳින්වූයේ හා භාවිතා වූයේ කෙලෙස කුමක් සඳහා දැයි තවමත් නිශ්චිත නිගමනයකට එළැඹී නොමැත. මෙය යම් ආකාරයක තාක්‍ෂණික මෙවලමක් හෝ එවැනි මෙවලමක නෂ්ටාවශේෂයක් හෝ විය හැකි බව විද්වත් මතයයි. එමෙන්ම මෙහි භාවිතාව පිළිබඳව ඥාණය අප අතුරින් තුරන් වී බොහො කල්ය.
මෙය අඩි 6 ක විශ්කම්භයකින් යුතුය. මධ්‍යයේ සමකේන්‍ද්‍රික චක්‍ර 7 කින් ද, එය වටා සිරස් හා තිරස් රේඛා වලින් බෙඳුනු චතුරස්‍රාකාර කොටස් අතර ඇති විවිධ සංකේත (බොහෝමයක් සිරස් හා තිරස් රේඛා 2 කින් බෙදුනු වෘත්තයන්ය.) රාශියකින් ද, මේ සියල්ල වටවූ පරිධියේ පිහිටි සාගර ජීවීන්ගේ රූ සටහන් සහිත වළල්ලකින් ද සමන්විත වේ. සිරස් රේඛා මගින් චක්‍රය සමමිතික ලෙස ප්‍රධාන තීරු 10කට බෙදා ඇත.
එච්.සී.පී. බෙල් මහතා ට අනුව මෙය බුදු දහමේ විග්‍රහ කෙරෙන සක්වළ (විශ්වය) පිළිබඳ සරළ රූ සටහනක් හෝ පෘථිවියේ සිතියමකි. මෙය පිහිටි ගල් පර්වතය සණ්‍යාසියෙකුගේ ගල්ලෙනක් බව ඔහුගේ මතයයි. (1901 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව) නමුත් රාජකීයයන්ගේ භාවිතය සඳහා ඉදි වූ රන්මසු උයනේ සණ්‍යාසීන් සිටින්නට ඇතැයි සිතීම දුෂ්කරය.
මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් විද්වතුන් පවසන්නේ මෙයින් ජීවයේ ආධ්‍යාත්මික පරිණාමය විදහා දැක්වෙන බවය. පරිධියේ ජීවයේ ප්‍රාථමික අවධියද, මධ්‍යයේ ඇති සමකේන්‍ද්‍රීය චක්‍ර මඟින් ආධ්‍යාත්මික සංවර්ධනයේ උපරිමයට ගොස් නිවන කරා යොමු වීම ද දැක්වෙන බවයි. මෙය ඩාවින්ගේ පරිණාමවාදී සංකල්පය අනුව සිතා ආධ්‍යාත්මික සංවර්ධනය පැහැදිළි කිරීමට ගත් උත්සාහයකි.
තවත් අය පවසන්නේ මෙයට අනුරාධපුර යුගයටත් එපිට ඉතිහාසයක් ඇති බවයි. එය රාවණ යුගයේ නිර්මාණයක් බවද පැවසේ.
ඇතැම් විද්වතුන් පවසන්නේ මෙම ස්ථානයේ සිට අපගේ ආදි මුතුන් මිත්තන් බැබිලෝනියාව හා ඊජීප්තුව සමඟ පණිවිඩ හුවමාරු කරගත් බවයි. එනම් එය එකළ තිබූ සන්නිවේදන උපකරණයක් හෝ එවැන්නක නෂ්ටාවශේෂයක් බවයි. බැබිලෝනියාවේ හා ඊජීප්තුවේ ද මෙයට සමාන රූසටහන් සහිත ස්ථාන දෙකක් ඇති බවත්, විශේෂයෙන්ම බැබිලෝනියාවේ ඇති එම රූසටහන සමඟ ලංකාවේ හා ඊජීප්තුවේ එය පිහිටි ස්ථාන දෙක පිළිබඳ සඳහන් කර ඇති බවත් පැවසේ. මෙම මතය සනාථ වන තවත් සලකුණු කිහිපයක් මෙම ස්ථානයේම ඇත. මෙම සක්වල චක්‍රය ඉදිරිපිට සමතලව පිහිටී පර්වතය මත, සක්වල චක්‍රයට මුහුණ ලා වාඩිවිය හැකි ලෙස ගලේ කෙටූ ආසන 4ක් ඇත. එයින් පෙනී යන්නේ පුද්ගලයින් 4 දෙනෙකුට එකවර හෝ තනි තනිව මෙය භාවිතා කළ හැකි වූ බවයි. (මෙම ආසන 4 නොසලකාහැර ඉහත අනෙකුත් මත ඉදිරිපත් කර ඇති බව පෙනේ.)
එය එසේ නම් දියුණු යැයි කියනා ලෝකයක වල්මත් වූ සිංහලයින් වන අප අද ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ට වඩා බොහෝ පිටුපසිනි.
සක්වල චක්‍රයේ පිහිටීම හා එය ඉදිරිපස ඇති ආසන හතර අනුව එය භාවිතා කරන්නට ඇත්තේ මෙසේ විය හැකිය. ගල් මත කෙටූ මෙම චක්‍රය හා ආසන හතර හැරුණු විට වෙනත් ද්‍රව්‍ය වලින් සෑදූ (ගඩොල්, ලී වැනි) මේ ආශ්‍රිතව පැවති අංගෝපාංග ඇතැම් විට විනාශ වන්නට ඇත.
Monday, November 12, 2007
පරණ විනෝදාංශය අළුත් තාක්ෂණයත් එක්ක...
මම මගේ පරණ ප්‍රියතම විනෝදාංශයක් වුන 'චිත්‍ර ඇඳීම' ආයෙත් අළුත් විදියකට පටන් ගත්තා... මම හොය හොය හිටපු චිත්‍ර ඇඳීමේ මෘදුකාංගයක් (නම ArtRage) ඊයෙ පෙරේදා හම්බඋනා... ඒකෙන් දැනට චිත්‍ර 3-4 ක් ඇන්දා.... මවුස් එකෙන් අඳින එක මුලදි ටිකක් අමාරු උනාට පස්සෙ හුරු උනා...
මේ ඉස්ඉස්සෙලම ඇන්ද චිත්‍ර වලින් එකක්.... (ඇන්දෙ tracing එකක උදව්වෙන්.... )






