සිළුමිණ පුවත්පතින් උපුටාගන්නා ලදි.
කොස්සෝකන්දේ පජ්ජෝත වැවේ ජල කී‍්‍රඩාවෙන් මතු යළි රැස්වූ ඒ බලසෙන් ගැමුණු නරනිඳු පිරිවරා පැමිණියේ ගල්කුලම හරහා ඔක්කම්පිටියේ තලගුරු වෙහෙරට ය. මේ ගමනේ දී තිරප්පනේ නමින් දැන් හැඳින්වෙන ස්ථානයේ ඒ බළ සේනාවේ අලි ඇතුන් ගාල් කරන ලදී. අසරුවනට මෙන් ම අශ්වයනට ද මඳ විරාමයක් ලැබිණ.
එප්පාවල - කටියාව වැව සමීපයෙහි විහාර මහා දේවිය හා පිරිවර ස්තී‍්‍ර ජනයා නැවතුණු තැන හැටියට සැලැකේ. භික්ෂූන් ඒ වැව ඉස්මත්තේ ළඳු කැලයෙන් පෝෂිත වන ඉසව්වේ දන් පිසීමට පිරිවර ඇති ව නවත්වා, නිරිඳු බළසෙන් පිරිවරා මේ ගමන පැමිණියේ ඇයි දැයි දැන් කා හටත් කුහුලකි.
ගැමුණු නරනිඳු යුදයෙහි දක්ෂ රණ ශූරයකු මෙන් ම පවත්නා තත්ත්වයන් පිළිබඳ නිබඳ අවදියෙන් සිටින්නෙකි. මහියංගණයේ සිට කසාගල ඉවුර තෙක් තමා අටවන ලද ප‍්‍රාදේශික කඳවුරු සියල්ල පයට හසු වූ පස් පිඬක් සේ සුනු විසුනු කළ ඒ යෝධ හමුදාව කෙරෙහි එළාර ගේ භීතිය නැඟී ආයේ ය.
ඒ නිසා ම හෙතෙම ගැමුණු ගේ ගමන් මඟ ගැන වඩා සෝදිසියෙන් ඔත්තු හමුදා මෙහෙයවමින් සිටියේ ය. කසාගලින් තමා ගේ ප‍්‍රධාන බලකොටුව එල්ල කැර ඔක්කම්පිටියෙන් පැන එන හමුදා ගැන දැන ගත් සොළී රජු විජිතපුර මහා බලකොටුව රැක ගැනීමට මහත් ආරක්ෂක පියවර ගෙන තිබිණ. මහවැලි ගඟ දිගට ඇති වෙනත් කඳවුරුවල භටයන් ද එහි කැඳවා තිබිණ.
ඔහු මේ හමුදා සේනාංකයක් කොයි මොහොතක හෝ තමා ගේ බල ඇණිය නසන පරමාර්ථයෙන් එවන්නට කටයුතු යොදන බව ගැමුණු කුමරු තේරුම් ගත්තේ ය. ඒ නිසා නිරිඳු ස්ති‍්‍රන් හා සංඝයා තැන තැන නතර කරවා මේ ගමන ආයේ ය. රජු නැවතුණ මේ ස්ථානය ඓතිහාසික වශයෙන් ද අතිශය වැදගත් රමණීය තැනෙකි.
තල්පත්වල අකුරු ලියූ හිමියන් වැඩ සිටි වෙහෙර පුරාණ තලගුරු වෙහෙර වී යැයි මතයකි. මෙසේ තල්පත්වල අකුරු ලියූ ඒ හිමියන් ධම්මදින්න නම් මහ රහතන් වහන්සේ ය. මෙහි තිබෙන කිරි වවුල් ගුහාව නම් තැන ඒ හිමියන් සතිපට්ඨාන සුතුර දේශනා කරන විට එය අසා කිරි වවුලන් සත්සියයක් ඒ අත්බවින් මිදී දෙව් ලොව ඉපි ද, පසු කාලයක මනුෂ්‍යාත්මභාව ලැබ නිවනට යොමු වූ බව ජනකතා පුරාණෝක්ති අතර එයි.
මේ කතාවට සමාන කතාවක් කිරින්ද යාල හන්දියේ වන ගහණයට යට වුණු නිමලව ආරණ්‍ය සේනාසනය හෙවත් පුරාණ තලගුරු වෙහෙර නම් වෙනත් ස්ථානයක ද එයි. එය ද හැඳින් වී ඇත්තේ තලගුරු වෙහෙර නමිනි. එහි ද වැඩ සිටියේ ධම්මදින්න නම් මහරහත් නමකි.
උන්වහන්සේ එහි දී සතිපට්ඨාන සුතුර දේශනා කරන විට කහ ගැරඩියෙක් දහම් අසා සිටි ගෙම්බකු ගිල දැම්මේ ය. දහම් ඇසූ පිනෙන් ගෙම්බා තව්තිසා දෙව්ලොව ඉපැදුණ බව එහි දහම් කතා පුරාණයේ එයි. මේ ස්ථාන දෙකේ ම ධම්මදින්න නම් මහරහතන් වැඩ සිටි ගල්ගුහා කුටි ඇත්තේ ය.
නිමලව වැඩ සිටින කල කිසියම් ධර්ම සාකච්ඡාවකට ධම්මදින්න මහ තෙරුන් තිස්සමහාරාමයට වැඩියේ සෘද්ධියෙනි. අහස් තලයෙනි. මේ දුටු එතැන රැස්වී සිටි අනෙක් භික්ෂූහු මොහු තුළ රහත් බවක් නැත, මේ තරමක අභිඥාවක් පමණයි." යනුවෙන් සිතූ හ.
භික්ෂුහු සිතූ කරුණ අවබෝධ කැර ගත් ධම්මදින්න රහත් හිමියෝ 'මාගේ රහත් බවට මේ මහපොළොව පවා සාක්කි' යැයි පවසා තෙවිටක් තම පා සුළැඟිල්ලෙන් මිහිකතට තට්ටු කළහ. මහ පොළොව බෙරයක් මෙන් හඬ තැළුෑ බව ජන කතාවේ එයි.
ස්ථාන දෙකකම එක ම නමින් විහාරයක් තිබීම, එකම රහත් කෙනෙකුන් සම්බන්ධයෙන් කතා පැතිරීම, වැඩ සිටි කුටි ස්ථාන දෙකෙහිම පැවතීම සම්බන්ධයෙන් මා තුළ පැවැති කුහුල අවිනිශ්චිත බව මම එල්ලාවල නායක හිමියනට පැවැසීමි. උන්වහන්සේගේ පිළිතුර වූයේ එක ම හිමියන් විහාර දෙකේ ම වැඩ සිටින්නට බැරි මන්දැ යි යන්න ය.
කලගුරු වෙහෙරේ වැඩ සිටි හිමිවරුනට පැවැති දුර්භික්ෂ කාලයක දී මහනුවර යුගයේ සිටි මේඝවර්ණාභය නම් රජු මඟªල් ඇතු පිටින් කලගුරු වෙහෙරට වැඩි බව කියැවේ.
වල්පොල රාහුල හිමියන් ගේ 'ලංකා ශාසන ඉතිහාසය' පොතේ ද සඳහන් එපුවත පිළිගන්නෝ අදත් එපෙදෙස සිටිති. එදා මඟªල් ඇතු බැඳ දැමූ දම්වැල දැනටත් විහාරයේ ඇත. කි‍්‍ර. පූ. 4 - 5 අතර කාලයේ සද්ධාතිස්ස මහ රජු කළ විහාර කර්මාන්තයක් ලෙස සැලැකෙන කලගුරු වෙහෙරේ එක තැනෙක නාග භවන නම් ස්ථානයක් ද වෙයි. තවමත් කිරිවවුල් ගුහාව ද පවතී.
අති දැවැන්ත නාගයකු විසින් මේ විහාරයේ ගල් පවුරු හා නටබුන් රැක සිටින්නේ යැයි ගැමියෝ කියති.
වැඩුණු මිනිසකුගේ කලවා පෙදෙසක් තරම් ශරීරයක් ඇති අඩි 12 - 13 ක් දිග මේ නාගයා තවමත් දිවමන් බව කියයි. මා මින් පෙර මෙවැනි නාගයන් අතීතයේ වැඩ සිටි බිමක් ලෙස දුටුයේ ගිරුවාපත්තුවේ නයිගල නම් විහාරයේ ය. ගැමුණු නරනිඳු මේ විහාරයේ ගිම් නිවන කල පයිංඩරුවෙක් රජු සොයා පැමිණ දොහොත් මුදුන් දී වැන්දේ ය.
"අවසර දේවයන් වහන්ස, එළාරගේ බල ඇණියක් පැමිණ නුදුරු ගල්කුලමේ අපේ භටයන් වනසා දමමින් සිටිති. සුරනිමල යෝධයා හා වේළුසුමන යෝධයා උන් හා මහත් සටනක් කරති. ඔවුන් පැමිණ ඇත්තේ ඔබවහන්සේ රැඳී සිටින කලගුරු වෙහෙරටයි."
රජ වහා ම කි‍්‍රයාත්මක විය. බල ඇණියට සූදානම් වන සංඥාව නිකුත් කැරිණි. රජ කඩොලැතු විහාරයේ තබා අජානේය අසකු පිට නැංගේ ය. මහා සේනාව ඔල්වරසන් දෙමින් ගල්කුලම බලා පිටත් වූහ.
එහි එන විටත් එතැන එක ම හිස් ගොඩක් විය. සුරනිමල යෝධයා තලා දැමූ සොළීන් ගේ සිරුරු තැන තැන විය. ලභියවසභ, කංජදේව, පුස්සදේව, භරණ ආදි යෝධයෝ දෙපස ඇති ගස් කඳන් බිම පෙරළා සොළීනට පහර දෙමින් සිටියහ.
කුමරුන් එහි පැමිණෙන විට කඩු ගාන්නට ලැබුණේ එක ම එක සොළියකු පමණි. බොහෝ සොළීන් මෙන් ම ධීර වීර සිංහල සෙබළුන් ගේ සිරුරු ද තැන තැන වැටී තිබෙනු දුටු කුමරු තුළ ශෝකයක් උපන්නේ ය.
ඒ බල ඇණියේ සොළීන් එක්දහස් දෙසීයක් පමණ වී. ඉන් තුනෙන් එකක් එතැන ම මරා දමා තිබිණ. පහර දෙන්නට ආ වේගයටත් වඩා වේගයෙන් ඔව්හු යළි පලා ගියහ. ඉක්බිති මහ රජ සිංහලයේ මහා සටනට විජිතපුර සටනට සූදානම් වීමට දැන් මොහොත එළැඹ ඇත්තේ යැයි කියමින් ජය සක් පිම්ඹේ ය.
No comments:
Post a Comment